May 05, 2024

SLT-MOBITEL සහ eChannelling එක්ව මෙරට ප්‍රථම ජාතික ඖෂධ අලෙවිසැල් සහය සේවාව හදුන්වා දෙයි

September 30, 2021

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සහ eChannelling සේවාව එක්වී, 2021 සැප්තැම්බර් 24 දිනට යෙදුණු ජාතික ඖෂධවේදී දිනය වෙනුවෙන්, මෙරට ප්‍රථම වරට ජාතික මට්ටමේ ඖෂධ සහය සේවාවක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. පවතින තත්ත්වය හමුවේ රටේ ජනතාවට වඩාත් පහසුවෙන් ඖෂධ ගෙන්වා ගැනීමට සහය වීමේ අරමුණින් මෙම සේවාව හඳුන්වා දී ඇත.

මේ යටතේ දුරකථන ඇමතුම් කළමනාකරණය කිරීම සහ ඖෂධ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සඳහා දැනටමත් ඖෂධවේදීන් 120 කට අධික පිරිසකට පුහුණව ලබාදීමට SLT-MOBITEL පියවර ගෙන තිබේ. ඒ අනුව දැන් මෙරට ජනතාවට ආරක්ෂිතව නිවෙස් වලම සිටිමින්, 0716 222 555 අංකය ඔස්සේ තමන්ට අවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

රටේ ජනතාවට ඖෂධ සම්බන්ධයෙන් විශිෂ්ටතම සේවාවක් ලබාදීම රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ මූලික අරමුණ වන අතර, මෙම සේවාව ඔස්සේ එම අරමුණ ඉටුකර ගැනීමට අත්වැලක් වීම සඳහා SLT-MOBITEL සහ eChannelling සේවාව ඉදිරිපත් විය. ව්‍යාපෘතියේ මූලික අදියර යටතේ මෙම සේවාව කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශ වල ක්‍රියාත්මක වන අතර, ඉදිරි මාස කිහිපයේදී එය රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.

ඖෂධ සම්බන්ධයෙන් කිසියම් සහයක් අවශ්‍ය වන පාරිභෝගිකයන් මුලින්ම කළ යුතු වන්නේ, මෙම සේවාවට අදාළ ක්ෂණික ඇමතුම් අංකය වන 0716 222 555 අංකය ඇමතීම ය. එහිදී පුහුණුව ලත් ඖෂධවේදියෙකු විසින් අදාළ පාරිභෝගිකයාට අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබාදෙනු ඇත. ඉන් අනතුරුව එම පාරිභෝගිකයාට සබැඳියක් (Link) සහිත කෙටි පණිවිඩයක් (SMS) ලැබෙන අතර, එම සබැඳිය වෙත පිවිසී තම ඖෂධ නිර්දේශය ඇතුළත් (Upload) කළ විට, ඔහුට හෝ ඇයට අවශ්‍ය ඖෂධ නිවසටම ලැබෙනු ඇත. ජනතාවගේ පහසුව වෙනුවෙන් ප්‍රධාන භාෂා තුනෙන්ම මෙම සේවාව ක්‍රියාත්මක කෙරේ.

නවීන ඩිජිටල් තාක්ෂණය වෙත යොමුවීම සඳහා රජයේ ඖෂධවේදීන්ගේ සංගමයට අත්වැලක් වෙමින්, ජාතික ඖෂධ අලෙවිසැල් සහය සේවාව සඳහා අවශ්‍ය පිටුබලය ලබාදීමට SLT-MOBITEL සහ eChannelling සේවාව කටයුතු කර ඇත. මීට අමතරව රෝගීන්ට කිසියම් අතිරේක සහයෝගයක් අවශ්‍ය නම් එම සහයෝගය ලබාදීම සඳහාද මෙම සේවාව ක්‍රියාත්මක වේ.

ඖෂධ ඇණවුම් කිරීමේදී eChannelling සේවාවේ ඖෂධ නිර්දේශ පිටුව වන https://www.echannelling.com/echannelling-prescription-view/ වෙත පිවිසී තම ඖෂධ නිර්දේශයේ ඡායාරූපයක් අප්ලෝඩ් කළ හැකි අතර, ඒ ඔස්සේ තමන්ට අවශ්‍ය ඔසුසල් ඖෂධ රජයේ ලියාපදිංචි ඖෂධ අලෙවිසැලකින් මිලදීගෙන නිවෙසටම ගෙන්වා ගැනීමට ජනතාවට අවස්ථාව හිමි වේ.

 

Rate this item
(0 votes)