May 19, 2024

ආනයන වියදම වැඩියි - වෙළෙඳ හිඟය ඉහළ යයි

September 15, 2021

පසුගිය ජූලි මාසයේදී අඛණ්ඩව පස්වනවරටත් වෙළඳ හිඟය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි. 

පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව මාසය තුළ දී භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ ගිය නමුත්, ආනයන වියදම වඩා වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය 2021 වසරේ ජූලි මාසයේදී අඛණ්ඩව පස්වනවරටත් පුළුල් වූ බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

2021 වසරේ ජූනි මාසයේ දී නිරීක්ෂණය වූ ප්‍රවණතාවයට අනුව යමින් ජූලි මාසයේ දී ද විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පහළ ගිය අතර, සංචාරක ඉපැයීම් ද අවම මට්ටමක පැවතුණි. මේ අතර, ණය සේවාකරණ ගෙවීම් සම්බන්ධයෙන් රට විසින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන වාර්තාව බිඳ නොහෙළමින්, ශ්‍රී ලංකාව විසින් 2021 වසරේ ජූලි මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 1.0ක වටිනාකමකින් යුතු වසර 10ක කල්පිරීමක් සහිත වූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සාර්ථකව පියවන ලදී.

2021 වසරේ ජූලි මාසය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ විදේශීය ආයෝජන සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළඳපොළ අඛණ්ඩව ශුද්ධ ගෙවීම් වාර්තා කළ බව එම වාර්තාවේ සඳහන්. අන්තර් බැංකු වෙළඳපොළේ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය 2021 වසරේ ජූලි මාසයේ දී සමස්තයක් ලෙස ස්ථාවරව පැවතුණි.

වෙළෙඳ ශේෂය

වෙළෙඳ ගිණුමේ හිඟය, 2020 වසරේ ජූලි මාසයේ දී වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 209ට සාපේක්ෂව, 2021 වසරේ ජූලි මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත එක්සත් ජනපද ඩොලර් මිලියන 607 ක් දක්වා පුළුල් වූ බවත් 2021 වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සමස්ත වෙළෙඳ ගිණුමේ හිඟය ද, 2020 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ එක්සත් ජනපද ‌ඩොලර් මිලියන 3,471 ක හිඟයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 4,922ක් දක්වා පුළුල් වූ බවත් එහි දැක්වෙනවා.

වෙළෙඳ මිල අනුපාතය

අපනයන සහ ආනයන මිල ගණන් අතර අනුපාතය දැක්වෙන වෙළෙඳ මිල අනුපාතය, 2020 වසරේ ජූලි මාසයට සාපේක්ෂව 2021 වසරේ ජූලි මාසයේ දී සියයට 11.6කින් පහළ ගිය අතර, 2020 වසරේ ජූලි මාසයට සාපේක්ෂව, අපනයන මිල ගණන් ඉහළ යෘමට වඩා වැඩි වේගයකින් ආනයන මිල ගණන් ඉහළ යෑම මේ සඳහා හේතුවූ බවයි මහ බැංකුව පවසන්නේ.

Rate this item
(0 votes)