April 26, 2024
Main

Main (651)

විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනූව භූමිදානය පිළිබදව තීන්දුව ගනු ලබන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (13) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මෙම අදහස් දක්වන ලදි.

''කොවිඩ් - 19 වැළදී මියගිය පුද්ගලයින්ගේ මෘත දේහයන් භූමිදානය සම්බන්ධයෙන් විවිධ අයගෙන් ඉල්ලීම් ලැබී තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව ඔවුන්ගේ තව වාර්තා කිහිපයක් මා වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය කැබිනට් මණ්ඩලයේ දී මෙම කාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය කිසිදු තීන්දුවක් ගනු ලැබුවේ නැහැ. කැබිනට් මණ්ඩලයට මෙම කාරණය මතු වූ අවස්ථාවේ දී කැබිනට් මණ්ඩලය මා වෙත දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තා අනුව කටයුතු කරන ලෙසයි. එම නිසා එම වාර්තා මා වෙත ලැබුණු පසු අවසන් තීන්දුව ගැනීමට බලාපොරොත්තු වෙනවා'' යැයිද අමාත්‍යවරිය සඳහන් කළාය.

කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ යම්කිසි රෝග ආසාදනය පාලනයකින් තොරව පොකුරු මතුවීමේ ප්‍රවණතාවයක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

මෙරට තුළ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 15,000ක් ලෙස සිතාගෙන සිටිය ද, නිසියාකාරව පරීක්ෂණ සිදුකර සොයා බැලීමට පටන් ගතහොත් එම සංඛ්‍යාවට වඩා වැඩි ආසාදිතයින් ගණනක් හමුවිය හැකි බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සදහන් කරයි.

එමෙන්ම ලොව මෙතෙක් කල් කිසිදු ව්‍යසනයකින් වසරක් වැනි කෙටි කාලයක් තුළ මිනිසුන් මෙවැනි ප්‍රමාණයක් මියගිහින් නොමැති බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි.

හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාව සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරිම සඳහා අද සවස සිට ගුවන් හමුදාවේ සහය ඇතිව ඩ්‍රෝන යානා උපයෝගී කර ගනිමින් විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියි.

හුදෙකලා කොට ඇති ප්‍රදේශ යළි මුදවා හැරීම සිදුකරන තෙක් එම නිරීක්ෂණ කටයුතු සිදුකරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාව තමන්ගේ නිවෙස් තුළ රැඳී නොසිට විවිධ සංචරණ සීමාවන් සිදු කෙරෙන බවට තොරතුරු ලැබී ඇති බවත් මේ හේතුවෙන් එම සංචරණ කටයුතු සීමා පැනවීමට පියවරක් ලෙස මෙම පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙලෙස සංචරණ කටයුතු සිදුකරන පුද්ගලයින් ගැන ඩ්‍රෝන යානා මගින් ලබා ගන්නා තොරතුරු මත විශේෂ ආරක්ෂක කණ්ඩායම් කිහිපයක් යොදවා ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ හුදෙකලා කළ ප්‍රදේශවල ජනතාව සංචරණ සීමාවන්ට යටත් නොවී කටයුතු කිරීම හේතුවෙන් එම ප්‍රදේශ තුලින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සිදුවන බවයි.

හුදෙකලා කොට ඇති ප්‍රදේශයක සිටින යම් කිසි පුද්ගලයෙකුට හදිසි රෝගී තත්ත්වයක් ඇතිවුවහොත් පහත සඳහන් දුරකථන අංකය ඔස්සේ ගිලන් රථ සහය ලබා ගැනීමට හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියහ.

ඒ අනුව ගිලන් රථ සහය ලබා ගැනීමට හැකි දුරකථන අංකය වන්නේ 0113- 422558.

කොවිඩ් - 19 රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහ වියළි කලාපයේ විශේෂිත භූමියක භූමදානය කිරීමට අවසර දීමට සෞඛ්‍ය අංශ සලකා බලමින් සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ මේ පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ තීරණයට කැබිනට් මණ්ඩලය විරුද්ධ නොවූ බවයි.

කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේ ඇතුළු පාර්ශව රැසකින් මීට දැඩි විරෝධයක් එල්ල කර තිබේ.

කොවිඩ් -19 රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ඊට අදාළව පත්කළ විශේෂඥ කමිටුවේ අදහස් අනුව සියලුම දේහයන් අදාහනය කරන ලෙස හිටපු සොඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි.

කෙසේ වෙතත් රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීමට අවස්ථාව සලසාදීම සම්බන්ධයෙන් සලකා බැලීමට විද්වත් කමිටුවක් ස්ථාපිත කරන්නැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් ද සිදුකළේය.

මෙලෙස කොවිඩ් රෝගය වැළඳී මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීමක් පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

නමුත් ඊයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වු සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නැමැත්තාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ, “නව කොරෝනා වෛරස ආසාදනයෙන් මරණයට පත්වන මුස්ලිම් මෘත දේහ භූමදානය කිරීමට වත්මන් රජය අවසර ලබා දී ඇත.“ යනුවෙනි.

සමස්ත රටේම නිරෝධායන ඇඳිරි නීතිය මේ වන විට ඉවත් ඉවත් කර තිබුණද පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට (lockdown) කොව්ඩ් 19 මර්දනය කිරීමේ කාර්ය සාධන බලකාය පියවර ගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ජනතාව තුල නිවැරදි අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නට නොමැත.

ඊට හේතුවී තිබෙන්නේ හුදකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාව තුළ මෙන්ම ඒ හරහා ගමන් ගන්නා ජනතාව තුළ ද නිරෝධායන නීතිරීති පිළිබඳ නිසි බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පනවා ඇති විධිවිධාන සම්බන්ධයෙන් දැනුවත් වී නොමැතිකමය.

අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත්ව පරිසර අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත්වීමෙන් පසු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරය පුරප්පාඩු ව තිබුණු අතර ඒ සඳහා සුදුස්සකු පත්කරනු ලැබුවේ මීට ටික දිනකට පෙර ය.

නව සෞඛ්‍ය අධ්‍යක්ෂක සේවා ජනරාල්වරයා පත්වීමට පෙර ක්‍රියාත්මක වූ නීතිය වූයේ හුදකලා කර ප්‍රදේශ හරහා නොනවත්වාම වාහන වලට ගමන් කිරිමට අවස්ථාව ලබාදීමය.

වැඩ බලන පොලිස්පතිවරයා විසින් 2020.11.09 වන දින නිකුත් කරන ලද නිවේදනයකට අනුව එම නීතිය මේ වන විට වෙනස් වී ඇති අතර හුදකලා කරන ලද ප්‍රදේශ වල හා ඒ ප්‍රදේශ හරහා ගමන් කිරීම සම්බන්ධයෙන් අවසර දීමේ පූර්ණ බලය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතට පත්කොට තිබෙන බව ජනතාව වෙත දැනුම් දී තිබේ.

එම නිවේදනයට අනුව හුදකලා කර ඇති ප්‍රදේශ තුළ හෝ එම ප්‍රදේශ හරහා සංචරණය කිරීමට අවසර ලබා දෙනු ලබන්නේ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නිසි බලධරයා වන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පමණි.

එම නිවේදනයට අනුව 2020.11.09 දින සිට හුදකලා කර ඇති ප්‍රදේශ තුළ හෝ එම ප්‍රදේශ හරහා ගමන් කිරීමට සුවිශේෂී කාරණා මත අවශ්‍යතාවයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ලබා ගත යුතු අතර ඒ සඳහා පිරවිය යුතු ඉල්ලුම් පත්‍රයක් ද තිබේ.

මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නිකුත් කොට ඇති නිරෝධායන ඇදිරිනීති බලපත්‍ර හුදකලා කර ඇති ප්‍රදේශ තුළ හෝ ඒ හරහා ගමන් කිරීමට වලංගු නොවන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

හොරණ - බොඩිලයින් ඇඟළුම් කර්මාන්තශාලාවෙන් වාර්තාවන මුළු ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 170 දක්වා ඉහළ ගොස් තිබේ.

පෙරේදා (07) නව ආසාදිතයන් 80 දෙනෙකු හඳුනා ගෙන තිබිණි.

සේවකයන් 6,000 කට ආසන්න පිරිසක් සේවය කරන අදාළ ඇඟළුම් කර්මාන්තශාලාවේ රජය මගින් පසුගියදා පී සී ආර් පරීක්ෂණ සඳහා යොමුකළ පිරිස් නිරෝධායනයට යොමුකරන ලෙස සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් මත ඔවුන් ඊයේ නිරෝධායනය සඳහා යොමුකළ බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

එම කර්මාන්තශාලාවේ සිදුකළ පී සී ආර් පරීක්ෂණවල වාර්තා තවදුරටත් ලැබීමට නියමිත අතර, හොරණ, ඉංගිරිය, බුලත්සිංහල, අගලවත්ත, කිරිඇල්ල සහ පාදුක්ක ප්‍රදේශවල මෙන්ම මහනුවර, අනුරාධපුර වැනි දුරබැහැර ප්‍රදේශවල පදිංචිකරුවන් ද ඒ අතර සිටින බව සඳහන් වේ.

කෙසේ වෙතත්, එම කර්මාන්තශාලාව හිමි මාස් හෝල්ඩින්ග්ස් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිවයින පුරා පිහිටි තම කාර්මාන්තශාලාවල සේවකයන් වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ පුළුල් කර ඇති බවයි.

මෙම ඇඟලූම් කර්මාන්තශාලාවෙන් මතු වෙමින් තිබෙන කොවිඞ් පොකුර අතිශය භායනක තත්වයට පත් වෙමින් ඇති අතර හොරණ ගුරුගොඩ ඇඟලූම් කර්මාන්තශාලාවේ හයදහසකට ආසන්න පිරිසක් සේවයේ නියුතුව සිටින බව ද වාර්තා වේ.

හොරණ ගුරුගොඩ ප‍්‍රධාන ඇඟලූම් කර්මාන්තශාලාව තුළින් කොවිඞ් ආසාදිතයන් හඳුනා ගන්නා විට එම ආයතනයට අයත් පිඹුර, අගලවත්ත ඇඟලූම් කර්මාන්තශාලා තුළ ද සේවයේ නියුතු තම සේවකයන් සැකපිට අහඹු ලෙස පී. සී. ආර්. පරීක්‍ෂණවලට භාජන කිරීමට එම පාලනාධිකාරීන් කටයුතු කර තිබිණි. 

පැතිර යන කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ හොරණ ඇඟලූම් කර්මාන්තශාලව අවට ප‍්‍රදේශවල ජනතාව දැඩි භීතියෙන් පසු වන බව ද වාර්තා වේ. එමෙන්ම ගුරුගොඩ ඇඟලූම් ආයතනයේ සේවකයන් හයදහස අතර කළුතර, රත්නපුර දිස්ත‍්‍රික්කවල පුද්ගලයන් පමණක් නොව මෙරට විවිධ ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයන් එම ආයතනයේ සේවය කරනඅතර එම ඇඟලූම් ආයතනයේ පමණක් නොව සහෝදර මතුගම පිඹුර, අගලවත්ත ඇඟලූම් ආයතනවල ද මෙරට නොයෙක් ප‍්‍රදේශවල පදිංචිකරුවන් සේවය කරයි.

හෙට උදෑසන 5.00 සිට බලපැවැත්වෙන පරිදි බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) දිනයේ ඉවත් කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කෙසේවෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනාගත් පොලිස් වසම් 12ක් සහ අවදානම් බවට හඳුනාගෙන ඇති මහල්නිවාස සංකීර්ණ කිහිපයක් බාහිර සමාජයට පිවිසිය නොහැකි ආකාරයට හුදකලාවකට ලක් කිරීමට තීරණය කර ඇති බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කය තුළ දැනට හමුවන කොවිඩ් ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් මෙම ස්ථාන තුළින් හඳුනාගන්නා බව යුද හමුදාපතිවරයා පැවසීය.

ඉකුත් නොවැම්බර් 02 වනදා උදෑසන බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කර තිබුණි.

මේ අතර කුරුණෑගල, කුලියාපිටිය, කෑගල්ල සහ මාවනැල්ල ප්‍රදේශවලටත් පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5.00 සිට ඉවත් කෙරෙන බවද සඳහන් කළේය.

මින් ඉදිරියේදි සියලුම රාජ්‍ය ආයතනය වල සුළු සේවකයන් පත්කිරීම අදාළ අමාත්‍යංශය බාර ඇමතිවරයාගේ අභිමතය අනුව කළ නොහැකි ලෙස චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අමාත්‍යංශ වල රියදුරන්, කාර්යාල කාර්ය සහායකයන් සහ පිරිසිදු කරන්නන් යන තනතුරු සඳහා අවශ්‍ය සේවක පිරිස් මුදල් අමාත්‍යංශයේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකා දෙපාර්තමේන්තුව මගින් ලබාදීමට තීරණය කර ඇති බව එම අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කරයි.

අභ්‍යන්තර උසස්වීම් මගින් අදාළ පුරප්පාඩු පිරවීම සඳහා අවස්ථාව සලසා දී ඇත්නම් ඒ අනුව කටයුතු කළ යුතුය. අනෙකුත් සියලුම අවස්ථාවන්හිදී බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව මගින් අදාළ සේවා සපුරාගැනීමට කටයුතු කළ යුතු බව ලේකම්වරයා චක්‍රෙල්ඛයක් මගින් සියලු ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

පසුගිය කාලය පුරාම මෙම තනතුරු වලට පත්වීම් දෙන ලද්දේ අමාත්‍යංශය බාර ඇමතිවරයාගේ අභිමතය අනුව බව වාර්තා වේ.

පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයෙකු නිරෝධායනය කාලසීමාව අවසන් වී නිවස බලා යමින් සිටියදී මියගොස් ඇතැයි පුත්තලම පොලිසිය සඳහන් කරයි.

පුත්තලම සේවා මාවත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙකු පසුගිය 4 වැනිදා රාත්‍රියේ මෙසේ මියගොස් ඇති අතර මළ සිරුර ඔහුගෙන් නිවස ආසන්නයේ දී හමු වී තිබේ.

පුත්තලමේ ආපන ශාලාවක සේවකයෙකු ලෙස කටයුතු කරන ඔහුට එහිදී කොරෝනා ආසාදිතයෙක් හමුවූ බව හෙළි වීමෙන් පසු හෝටලයේ සියලු දෙනාම නිරෝධයට යොමු කර ඇත්තේ ඔවුන් සේවය කරමින් සිටි හෝටලයේමය.

පසුගිය 4 වැනිදා එම කාලය අවසන් කිරීමෙන් පසු නිවෙස බලා යමින් සිටි නමුත් ඔහු නිවසට පැමිණ නැති බව හෙලිවීමෙන් පසුව කළ සොයා බැලීම් වලදී නිවස අසල තිබී දේහය හමු වී ඇත.

දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.

මෙරට කොවිඩ් -19 ව්‍යාප්තිය මෙන්ම සිදුවන මරණ සම්බන්ධයෙන් ද රට යම් බැරෑරුම් ස්ථානයකට ගමන්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

සති දෙකක් වැනි කෙටි කාලයකදී කොවිඩ් මරණ 11ක් වාර්තාවීම අනතුරුදායක තත්ත්වයක් බව ඔහු සඳහන් කළේය.

එහිදී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

"රට තුළ කොවිඩ් ව්‍යාප්තියේ පළමු අවස්ථාවේ මාස 9ටම මරණ සිදුවූයේ 13ක්. නමුත් මේ අවස්ථාවේ සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මරණ 11ක් වාර්තා වී තිබෙනවා. මේ මරණයට පත්වුණු සමහර අය කොවිඩ් රෝගීන් කියලා අපි දැනගන්නේ මරණ පරීක්ෂණයේ දි. ඒ කියන්නේ සමහර අය ගෙවල්වලදි තමයි මරණයට පත්වෙලා තියෙන්නේ. මේක අපේ විශේෂ අවධානයට ලක්විය යුතු දෙයක්. අපිට ප්‍රායෝගිකව පේන්න තියෙන දේ තමයි මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් ඉදිරියේදී අපිට මීට වඩා වැඩියෙන් කතා කරන්න වෙයි. සමහර අයගෙ, PCR මුල් පරීක්ෂණයේදී නෙගටිව්වෙලා තිබ්ච්ච අයගෙ තමයි මරණයෙන් පස්සේ පොසිටිව් වෙලා තියෙන්නෙ. මේ මරණ ඔස්සේ ඉතා පැහැදිළිව පේන්නේ PCR පරීක්ෂණ නැවත නැවත සිදුකිරීමට ඇති අවශ්‍යතාවය. වයසක අය තමයි ගොඩක් මේ ගෙවල්වල මරණයට පත්වෙලා තිබුණේ. ඒකෙන් පැහැදිළි වන දේ තමයි සමාජයට ගිහින් නෙමෙයි ඒ අයට බෝ වුණේ. වෛරසය ගෙදරට ඇවිල්ලා. අවදානම් කණ්ඩායම් රැකබලා ගැනීමට ජනතාවට ලොකු වගකීමක් තියෙනවා." යනුවෙනි.