April 20, 2024
Main

Main (651)

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අගමැතිවරයා සභාවේ නැගී සිටිමින් එසේ කියා සිටියේ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.

ජලයෙන් කොවිඩ් 19 ‍බෝ නොවන බවට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය පාර්ලිමේන්තුවේදී පැවසූ බවත් එසේ නම් මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානයට ඉඩ නොදෙන්නේ මන්දැයි අසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අද පාර්ලිමේන්තුවේදී විමසා සිටි අවස්ථාවේ එය රීති ප්‍රශ්නයක් නොවන බව කියමින් කථානායකවරයා ඔහු වාඩි කළ නමුත් එහිදී එකවරම නැගී සිටි අගමැතිවරයා කොවිඩ් 19 වැළඳීමෙන් මිය යන අයගේ සිරුරු භූමදානයට ඉඩ දෙන බව කියා සිටියේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳ කඩිනමින් තමා දැනුවත් කරන්නැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

උන්වහන්සේ මේ බව දන්වා ඇත්තේ ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමිනි.

2019 අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ඉකුත් 01 වනදා කොමිසමේ සාමාජිකයින් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

අනතුරුව පසුගිය නිදහස් සමරු උළෙලේ දී ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ එම අවසන් වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමා පියවර ගන්නා බවය.

එම ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳ කඩිනමින් තමා දැනුවත් කරන ලෙසත් කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමන් වෙත ලබාදෙන ලෙසත් කාදිනල් හිමිපාණන් එම ලිපියෙන් ඉල්ලා තිබේ.

දෙරණ නාලිකාවේ විකාශය වූ එම පුවත පහලින්

වසර 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශයන්ට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු යහපාලන රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයන් හා නිලධාරීන් අපරාධ චෝදනාවලට ලක්විය යුතු බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 

හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු අග්‍රාමාත්‍යවරයාට අමතරව, එවකට ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානියා වූ සිසිර මෙන්ඩිස්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස කොමිසම නිර්දේශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ.

පූර්ව අනතුරු ඇඟවීම් නොතකා හරිමින්, ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වූවන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස කොමිසම නිර්දේශ කර තිබේ. 

2019 පාස්කු ප්‍රහාරය හේතුවෙන් කතෝලික දේවස්ථාන කිහිපයකදී සහ සංචාරක හෝටල දෙකකදී පුද්ගලයින් 270 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

කොවිඩ් - 19 මර්දනය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 180ක් මෙරටට ගෙන්වීමෙන් පසු දිනකට ලක්ෂ 5ක ජනගහනයකට එන්නත දීමට රජය සැලසුම් කරයි.

දින 15ක් පමණ කාලයකදී මුළු රටම ආවරණය වන පරිදි මේ එන්නත සමස්ත ජනතාවටම දීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පුවත්පතකට පැවසිය.

කොවිඩ් - 19 එන්නත සමස්ත ජනගහනයටම දීමෙන් පසු ලෝකයේම ඇති කොවිඩ් - 19 න් ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව බවට පත්වන්නේ යැයිද ඒ මහතා කීය.

වයස අවුරුදු 18ට අඩු දරුවන්, මව් කිරි දෙන මවුවරුන්, ගැබිනි මවුවරුන් යනාදීන්ට එන්නත දීම නොකරන බවත් ඔවුන් හැරුණු විට එන්නත දීම සඳහා අවශ්‍ය වන්නේ මෙරට ජනගහනයෙන් ලක්ෂ 120කට පමණක් බවත් ඔහු කියා සිටියේය.

අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් යන අයට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (05) නියෝග කළේය.

අද නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් දෙදෙනාට විවෘත අධිකරණයේ අධිචෝදනා පත්‍ර හා ඇමුණුම් භාර දෙන ලදී.

අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙස නියම කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය අවසන් වන තෙක් විත්තිකරුවන්ට විදේශගත වීම තහනම් කරන බවත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු බවත් නියෝග කළේය. මෙම නියෝගයේ පිටපතක් ආගමන හා විගමන පාලකවරයාට සහ කටුනායක ගුවන් තොටුපල වෙත යොමු කරන ලෙසත් විනිසුරු වරයා නියෝග කළේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ  73 වන ජාතික නිදහස් දිනය අදට (4)  යෙදී තිබෙන අතර ජාතික නිදහස් දිනය ඉතා චාම් සැමරීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ. 

මිට වසර 73කට පෙර ශ්‍රී ලංකාව බ්‍රිතානයෙන් නිදහස ලැබූ අයුරු පිළිබඳව නුතන පරම්පරාවට දැන ගැනීම වස් කෙටිසටහනක් තැබීම වටී.

බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අපගේ මාතෘ භුමිය දීන බවින් මිදි නිදහස් රාජ්‍යයක් බවට පත්වූයේ 1948 පෙබරවාරි 04 වැනිදාය. ඒ වසර 133ක් අධිරාජ්‍යවාදයේ යටත්විජිතයක්ව පැවතීමෙන් පසුවය. 1947 දී බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව විසින් ලංකා ස්වාධීනතා රාජාඥාව නිකුත් කරමින් 1948 පෙබරවාරි 04 දා සිට ලංකාව බි්‍රතාන්‍ය කිරීටයට යටත් ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් කරන ලදී. මෙම නිදහස් පනත හෙවත් රාජාඥාව ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමත් සමග නීතිගත විය. ඒ අනුව 1815 දී බ්‍රිතාන්‍යයන් හට ගිවිසුමකින් පවරා දුන් මාතෘ භූමිය 1948 පෙබරවාරි 04 වැනිදා නිදහස් විය.

1948 පෙබරවාරි 04 වැනි දින පෙරවරු 7.30ට එළඹි සුබ මොහොතින් පළමු රාජ්‍ය තාන්ත්‍රික කටයුත්ත ලෙස කොළඹ රජ වාසලේ පැවති චාම් උත්සවයකදී නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා ලෙස ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මුවර් මහතා, අග්‍රවිනිශ්චයකාර ශ්‍රීමත් ජෝන් හොවාර්ඞ් සහ ලංකාවේ කැබිනට් මණ්ඩලය ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ අවස්ථාවේදී කපිතාන් ඩී. ජේ. කුටේගේ නායකත්වයෙන් යුතු රාජකීය ලංකා කාලතුවක්කු හමුදාවේ පළමුවන වෙරළාරක්ෂක රෙජිමේන්තුවේ ආචාර වෙඩිමුර 19 ක් තබන ලදි.

ඉන්පසුව නව අග්‍රාණ්ඩුකාරවරයා කැබිනට් මණ්ඩලය සමඟ සාමුහික ඡායාරූපයකට පෙනීසිටි අතර පෙ.ව 9.35ට ගුවන් විදුලියෙන් ජාතික ඇමතීය. “මෙරට වාසීන්ට මෙතෙක් තිබුණාට වඩා උසස් නිදහසක් ලබා දෙන්නට මේ උදා වූ නිදහසට නොපුළුවන් වුවහොත්, එබඳු නිදහසකින් පලක් නැත්තේය” යැයි ලංකාවේ අභිනව අග්‍රාණ්ඩුකාරවරයා ගුවන් විදුලිය මගින් කළ සභාවේ දී ප්‍රකාශ කළේය. පෙ.ව 9.45ට නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වන ඩී. එස්. සේනානායක මහතා සිංහලෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් ගුවන් විදුලිය මගින් ජාතිය අමතා කතා කළේය. එහිදී ‘ලංකාව ලබාගත් නිදහස බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ආධ්‍යාත්මික නිදහසට දෙවැනිකොට සැලකිය හැකි යැයි” ප්‍රකාශ කළේය.

ලංකා නිදහස් පනත වලංගු වීමත් සමගම මෙතෙක් අග්‍රාණ්ඩුකාරවරයාගේ බාරයේ තිබූ ලංකාවේ ආරක්ෂක කටයුතු හා විදේශ කටයුතු පිළිබද වගකීම් අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා වෙත පැවරීමෙන් නිදහස පරිපූර්ණත්වයට පත් කරන ලදි.

පෙබරවාරි 04 වැනි දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද අතර පෙබරවාරි 10, 11 සහ 12 යන දිනයන්ද රජයේ නිවාඩු දිනයන් ලෙස නම් කරන ලදි. ඒ අනුව පෙබරවාරි 4 වැනි දින සිට 16 දින දක්වා රාජ්‍ය උත්සව මාලාවක් සංවිධානය කර තිබුණි. නිදහස් උත්සවය නිමිති කොටගෙන සිරකරුවන් 1883 දෙනෙකුට නිදහස හිමි වූ අතර මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවන් 9 දෙනෙකුද නිදහස ලැබීය. 4 සහ 5 දෙදින තුළ සත්ව ඝාතන ස්ථානයන් ද වසා දමන ලදි. සෑම රාජ්‍ය ආයතනයකම, පෞද්ගලික ආයතන සියල්ලකම ද, ආගමික ස්ථාන හා නිවෙස්වල ද සිංහ කොඩිය ඔසවා තිබු අතර ලංකා ස්වාධීනතා පනත පිළිබඳව සියලු විස්තර පුවත් පත් හරහා ජනතාවට දැන ගැනීමට සලස්වන ලදි. පෙබරවාරි 4 වැනිදා පැවැත්වීමට නියමිත වැඩසටහන්, ග්ලෝස්ටර් ආදි පාදවරයාගේ පැමිණීම පිළිගැනීම ආදිය සියලු කරුණු රටේ සන්නිවේදනය කරන ලද්දේ පුවත්පත් මගින් වීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ යුතුය. 

1948 පෙබරවාරි 04 වන දින නිදහස ලැබූ නමුත්, එදින ඒ සම්බන්ධයෙන් නිල උත්සවයක් නොවීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ හා දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවත්වීමට ඊයේ (01) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව පෙරේදා (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොමිෂමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.

පළමු අතුරු වාර්තාව 2019 දෙසැම්බර් 20 සහ දෙවන අතුරු වාර්තාව 2020 මාර්තු මස 02 දිනවල ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ ඉන් අනාවරණය වන තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් 22 වනදා කොමිෂම පත් කරනු ලැබීය.

මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 08 දෙනෙකු විසින් 2019 අප්‍රේල් මස 21 වන දින හෝටල් සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාව සිදු කෙරිණ. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සියොන් දේවස්ථාන, ෂැංග්‍රිල්ලා, කිංස්ග්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල ප්‍රහාරයට ඉලක්ක විය.

දෙමටගොඩ දී සහ දෙහිවලදී ත්‍රස්තවාදීහූ දෙදෙනෙක් බෝම්බ පුපුරුවාගෙන සිය දිවි හානිකර ගත්හ. ප්‍රහාර මාලාවෙන් 270කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

කොමිසම දින 214ක කාලයක් මුළුල්ලේ 457 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගත්තේය. දේශපාලන අධිකාරියට හා ආරක්ෂක සේවාවන්ට අයත් පිරිස් මෙන්ම ව්‍යසනයට මුහුණ දුන් හා ආශ්‍රිත ක්‍රියාකාරකම් සමග සම්බන්ධ අය ඔවුන් අතර වූහ. වාර්තාව පිටු 472කින්, ඇමුණුම් 215 කින් සහ වෙළුම් 06කින් සමන්විතය.

මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කිඹුලාඇළේ ගුණා, ඔහුගේ පුත‍්‍රයා සහ පාතාල කල්ලි නායකයකු වන ‘බුම්බා’ ඉන්දීය පොලිසිය මගින් චෙන්නායි නුවරදී 01වන දා රාතී‍්‍ර අත්අඩංගුවට ගෙන ඇති බව දිවයින පුවත් පත් වාර්තා කරනවා .

ශී‍්‍ර ලංකා පොලිසිය මගින් ජාත්‍යන්තර පොලිසියට ලබාදී තිබූ රතු නිවේදනයක් අනුව ඉන්දීය පොලිසිය මගින් මෙම අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ‘තහවුරු කල බව පැවසෙනවා .

ශී‍්‍ර ලංකාවට හෙරොයින් තොග පිටින් එවන මත්ද්‍රව්‍ය ජාලයේ ප‍්‍රධානම පෙළේ ජාවාරම්කරුවකු බව කියන සින්නයියා ගුණසේකර නොහොත් කිඹුලාඇළේ ගුණා මීට වසර 15 කට පමණ පෙර ඉන්දියාවට පළා ගොස් තිබිණි.

කිඹුලාඇළේ ගුණා ඉන්දියාවේ චෙන්නායි නගරය කේන්ද්‍ර කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ අතර ඔහු යටතේ මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල ප‍්‍රබලයන් කීප දෙනකුම සේවය කර ඇත.

ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින ස්ටැන්ලි කෙනඩි ප‍්‍රනාන්දු නොහොත් ‘බුම්මා’ නමැති අපරාධකරු පසුගිය කාලසීමාවේ කොටහේන ප‍්‍රදේශයේ සිදු කළ මිනිස් ඝාතන රාශියකට සම්බන්ධ පාතාල නායකයකු බව පොලිසිය

පවසයි.

පූකුඩුකන්නා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග එක්ව පාතාල කල්ලියක් මෙහෙය වූ බුම්බා නමැති පාතාල නායකයා මීට වසරකට පමණ උඩදී ඉන්දියාවේ චෙන්නායි නගරයට පළා ගොස් කිඹුලාඇළේ ගුණගේ කල්ලියට සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව ද පොලිසිය පවසයි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ශී‍්‍ර ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගෙන තිබූ අතර ඔවුන් ශී‍්‍ර ලංකාවට රැුගෙන ඒමට ජාත්‍යන්තර පොලිසිය වෙත රතු නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින කිඹුලාඇළේ ගුණා, ඔහුගේ පුත‍්‍රයා සහ බුම්බාගෙන් ප‍්‍රශ්න කරමින් සිටින අතර පසුව ඔවුන් ඉන්දීය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉලක්ක කර කොටි සංවිධානය විසින් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය සඳහා ද කිඹුලාඇළේ ගුණාගේ සම්බන්ධයක් තිබූ බව හෙළිදරව් වී තිබිණි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ගුණාගෙන් පොලිසිය ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගැනීමට ද කටයුතු කර තිබූ බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

කොළඹ දෙමළ පාතාලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ කිඹුලාඇළේ ගුණා මෝදර කිඹුලාඇළ ප‍්‍රදේශය කේන්ද්‍ර කරගෙන දීර්ඝ කාලයක සිට පාතාල කණ්ඩායමක් මෙහෙය වීය.

ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින මෙම අපරාධකරුවන් තිදෙනා කඩිනමින් ශී‍්‍ර ලංකාව වෙත ගෙන්වා ගැනීමට ඉන්දීය රජය සමඟ සාකච්ඡුා කරගෙන යන බව ද ඇමැති සරත් වීරසේකර මහතා පවසයි.

මේ අතර විදේශගතව සිටින මෙරට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සියලූම පාතාල නායකයන්, හෙරොයින් ජාවාරම්කරුවන් ජාත්‍යන්තර පොලිසියේ ද සහාය ඇතිව අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනඒමට කටයුතු කරන බව සරත් වීරසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොදෙන බවත්, 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස පවත්වාගෙන යන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සමග පැවැති සාකච්ඡාවකදීයි.

නැගෙනහිර පර්යන්තය 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය හා පාලනය විදේශ රටකට ලබාදීමට රජය කටයුතු කරන බව පවසමින් නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විරෝධතා ව්‍යාපාරයක් අරඹා ඇත.

එය අකුරට වැඩ කිරීමේ තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙන පසුබිමක අග්‍රාමාත්‍යවරයා ඊයේ දිනයේදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදේශ රටකට හෝ ආයතනයකට ලබා නොදෙන බව ප්‍රකාශයට පත් කළේය.

විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ඉදිරිපත් කිරීමෙන් පසු එහි අඩංගු කරුණු විදේශීය සමාගමට ඉදිරිපත් කිරීමේදී එම කැරුණු වලට එම සමාගම එකඟ නොවූ නිසා නැගෙනහිර පර්යන්තය 100% වරාය ආධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කොට ඇත. 

එම තීන්දුවට නැගෙනහිර පර්යන්තය සුරැකීමෙ වෘත්තීය සමිති එකමුතුව එකඟ විය.

ඒ අනුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ය හෙට (02) දිනයේ සිට අත්හිටුවීමට ද වෘත්තීය සමිති එකමුතුව මෙහිදී එකඟ විය.

මෙම සාකච්ඡාවේදී වෘත්තීය සමිති නායකයින් කියා සිටියේ වරායේ නැගෙනහිර පර්යන්තය අන්සතු නොකරන බවට ලිඛිත ලියවිල්ලක් ලබා දෙන ලෙසයි.

එහිදී අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේ මගේ වසර 50 ක දේශපාලන ඉතිහාසයේ වෘත්තීය සමිති විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග අපමණ ප්‍රමාණයක් විසදා ඇති අතර එම කිසි දිනෙක තමන් ඒවා ලිඛිතව ලබා දී නොමැති බවත්, තමන් යමක් ප්‍රකාශ කළොත් එය ඒ අයුරින්ම ඉටු කරන බවයි.

"අගමැතිවරයා ලෙස මා පවත්වන රැස්වීම්වලදී ගන්නා තීරණ එසේම ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් බැදී සිටිනවා". "මා ගන්නා තීරණ සාකච්ඡා වලට පමණක් සීමා නොවී ඒවා ක්‍රියාවට නංවනවා" යැයි ද අග්‍රාමාත්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මීට පැය කිහිපයකට පෙර මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබී ය.

අත්අඩංගුවට ගැනීම්වලින් පැය කිහිපයකට පසු මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව එරට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කර ඇත.

පසුගිය මැතිවරණයෙන් පසු රජය සහ හමුදාව අතර මතභේදාත්මක තත්ත්වයන් උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුදා කුමන්ත්‍රණය සිදුව ඇති අතර මියන්මාර හමුදාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,  සේනාධිනායක මින් අවුන්ග් හේලින්ග්ට බලය පැවරීමට ක්‍රියා කරන බවයි.

මියන්මාරයේ ප්‍රධාන නගරවල අන්තර්ජාල සම්බන්ධතා මෙන්ම ඇතැම් දුරකතන සේවාවවන්හි ද අවහිරතා පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නොවැම්බර් මාසයේ මැතිවරණයෙන් අවුන් සාන් සූචීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් ජයග්‍රහණයක් ලැබූ අතර හමුදාව චෝදනා කරන්නේ,  පැවති මැතිවරණය වංචනික බවයි.

කෙසේ වෙතත්,අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙලෙස හමුදාව සිය භාරයට ගෙන ඇත්තේ,  මැතිවරණයෙන් පසුව මියන්මාර පාර්ලිමේන්තුව අද අසුන් ගැනීමට නියමිතව තිබූ පසුබිමකදී ය.

2011 වසරේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට පැමිණෙන තුරු මියන්මාරය තුළ ක්‍රියාත්මක වූයේ, හමුදා පාලනයකි.