April 27, 2024
Main

Main (651)

එක්‌සත් ජාතික පක්‌ෂ ජාතික ලැයිස්‌තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් පසුගියදා ආණ්‌ඩුව විවේචනය කරමින් කළ ප්‍රකාශයක්‌ සම්බන්ධව ඊයේ (06) පස්වරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්‌ඩු පක්‌ෂ රැස්‌වීමේදී දැඩි ලෙස විවේචනයට ලක්‌ වීම නිසා එම රැස්‌වීම දැඩි උණුසුම්කාරී වූ බව වාර්තා වේ.

පසුගිය මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පමණක්‌ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළේ නැතැයි කියා කළ ප්‍රකාශය ජාතික ලැයිස්‌තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ආශු මාරසිංහ මහතා විමසීමත් සමඟ මෙම උණුසුම්කාරී තත්ත්වය මතු විය.

එහිදී අතුරලියේ රතන හිමියන් පැවසුවේ අවශ්‍ය නම් තමා මන්ත්‍රීධුරයෙන් ඉවත් වන්නම් යැයි කියාය.

මතු වූ උණුසුම්කාරී තත්ත්වය පාලනය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ එක්‌සත් ජාතික පක්‌ෂය ජයග්‍රහණය නොකළා නම් මේ ආණ්‌ඩුව පිහිටු වීමට නොහැකි වන බවය. 

ඒ නිසා පක්‌ෂ දෙකක්‌ එක්‌ව කටයුතු කිරීමේදී ඉවසීමෙන් යුතුව සහ ගැටුම් ඇති නොවන ලෙස කටයුතු කිරීම කාගේත් වගකීම බවද මෙහිදී අගමැතිවරයා සඳහන් කළේය.

ආණ්ඩු පෙරලීමට නම් හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා මෙන් සෙසු අයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද වලස්මුල්ලේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙවැනිදා පැවති මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී විය.

කෙසේ වෙතත්, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙක් සහභාගී නොවීය. හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ අවස්ථාවට පැමිණීම සම්බන්ධයෙන් ඊයේ(04) වලස්මුල්ලේ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසී ය.

පළාත් පොලීසි ඇතිකිරීමට ගියහොත් සමයංලා වගේ අය දහස් ගණනක්, යාපනේ කි‍්‍රයාත්මක ආවා කල්ලිය වගේ දහස් ගණනක් බිහිවන එක වැලැක්විය නොහැකි බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ රුපියල් මිලියන 25 ක වියදමින් හෝමාගම කුඩමාදුව මාර්ගය කාපට් අතුරා ප‍්‍රතිසංවර්ධනය කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පැවරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකට ඊයේ (03) සහභාගී වූ අවස්ථාවේදීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“පාතාල ලෝකයට වීරාභිවන්දනය නංවන්න සමහරු උත්සාහ කරනවා. ඒ වෙනුවට සාමකාමී ජනතාවගේ ජීවන ප‍්‍රාර්ථනා වෙනුවෙන් පාතාල ලෝකය අපි මර්ධනය කළ යුතුයි. කඩුවෙල ගල් ප‍්‍රශ්න නිසා 100 කට වැඩි පිරිසක් පාතාල ලෝකයෙන් ඝාතනය වෙලා තිබෙනවා. මීරිගම පස් ප‍්‍රශ්න ඒ වෙනුවෙන් 48 දෙනෙක් ඝාතනය කර තිබෙනවා. එදා තිබුණේ මත්කුඩු වලින් බිහි වූ පතාලයක් වුවත් අද වන විට එය පස්, කළුගල්, වැලි දක්වා ගිය පාතාල ලෝකයක් බිහි වී තිබෙනවා.

“උතුරේත් ත‍්‍රස්තවාදය පරාජය කළාට ආවා කල්ලිය ආදී වශයෙන් පාතාල කල්ලි ගණනාවක් බිහි වී තිබෙන බවත් පසුගියදා මඩකලපුවේ බස් රථයකදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ දෙදෙනෙක් ටී 56 ගිණි අවිත් සමග අහුවෙලා තිබෙනවා. මේ සියල්ල මගින් පෙනී යන්නේ රටේ සාමය හා නීතිය ආරක්‍ෂාව පිළිබඳව ප‍්‍රශ්න කරන කාලයක් මේ සමාජයේ සෑම තැනකින්ම නැවත මතුවෙලා තිබෙන බවද, සාමාකාමී පුරවැසියන් හැටියට අපට තිබෙන ජීවත්වීමේ අයිතිය අප බලාපොරොත්තු වෙන අතර තුවක්කු අරගෙන පාරේ යන වාහනවලට වෙඩි තියන සම්ප‍්‍රදාය නැතිකරලා දාන්න අවශ්‍ය බවයි. ඒවාට යම්කිසි දේශපාලන ශක්තියක් තිබෙනවා නම් එවැනි පුද්ගලයන් පාරාජය කරන්න මේ සමාජය ශක්තිමත් විය යුතුයි. අධිකරණයයි, පොලීසියයි, සමාජයයි කියන මේ මුල්ගල් තුනම රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට අවශ්‍යවනවා“ යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

“පොලීසියේ බලතල පළාත් සභාවට ලබාදිය යුතු බවට සමහරු යෝජනා කරනවා. එය ඉන්දියාවේ අනුග‍්‍රහයෙන් ගෙන ආ 13 වෙනි සංශෝධනයේ තිබෙන දෙයක්. මොකද අද ඉන්දියාවේ වෙලා තිබෙන්නේ, ප‍්‍රාන්ත 14 ක ත‍්‍රස්තවාදය කි‍්‍රයාත්මක වෙනවා. එම ත‍්‍රස්තවාදය මර්ධනය කිරීමට තිබෙන ප‍්‍රධාන බාධාව තමයි පොලීසියේ බලතල අදාල ප‍්‍රාන්තවලට ලබාදීම. මේ නිසා එම රටේ නිතීය හා සාමය වල් වැදෙන තත්වයක් උද්ගත වී තිබෙනවා. පොලීසියට පොලිස් කොමිසම හදලා ඒ බලතල පොලීසියට ලබාදුන්නේ ශක්තිමත්ව එම ක‍්‍රියාකාරිත්වය කරන්න. පළාත් පොලීසි ඇතිකිරීමට ගියහොත් සමයංලා වගේ අය දහස් ගණනක්, ඒ වගේ යාපනේ කි‍්‍රයාත්මක ආවා කල්ලිය වගේ දහස් ගණනක් බිහිවන එක වැලැක්විය නොහැකියි. මේ රට කැරළි ගණනාවකට මුහුණ දුන් රටක්, නාදුනන තුවක්කුකරුවෝ රටේ ජනගහනයෙන් 2% 3% ක් ඝාතනය කළ රටක්, මහපාරේ බෝම්බ පුපුරලා දහස් ගණනක් ඝාතනය වූ රටක්, රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආයෝජන ලබන කල්ලි කණ්ඩායම් කී පමණින් ඒ අයගේ ඒජනත්යෝ හඬ නැගූ පමණින් මේ රටේ පොලිස් බලය ඒ අයුරින් බෙදාහැරීමේ හැකියාවක් ප‍්‍රායෝගිකව අපට නැහැ.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

සියලු ජනතාව එක් කර ගනිමින් එකම රටක් ලෙස රට ඉදිරියට ගෙනයාම තම රජයේ අරමුණ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ මඩකලපුව කලවංචිකුඩි මූලික රෝහලේ නව බාහිර ප‍්‍රතිකාර ඒකකය සහ වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ඊයේ (01) එක් වෙමිනි.

ඉදිරි වසර තුන තුළ නැගෙනහිර පළාතේ සියලු සංවර්ධන අඩු පාඩු සම්පූර්ණ විය යුතු බවත් එම සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය කාලයට වඩා ප‍්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කරන බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය.

රට තුළ තහවුරු වී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස උපයෝගී කර ගනිමින් රජයට කොපමණ විවේචන එල්ල කළ ද එම විවේචන ශක්තියක් කර ගනිමින් රට ගොඩනැගීමේ වගකීම නිසි ලෙසම ඉටුකරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රට නොබෙදෙන අයුරින් සංහිඳියාව ශක්තිමත් කර බලය බෙදීම සඳහා රජය කැපවී සිටින අතර ඒ පිළිබඳ මූලික කටයුතු ඉදිරි මාස කිහිපය තුළ අවසන් කිරීමට බලාපොරොත්තුවන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

පළාත් සෞඛ්‍ය අමාත්‍ය ඒ.එල්.එම්. නසීර් මහතා ඇතුළු පළාතේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන නිලධාරීන් වෙත උපහාර තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

විපක්ෂනායක ආර්. සම්බන්ධන්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අමීර් අලී, ෆයිසාල් කාසිම්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු, ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, පළාත් ඇමතිනී ආරියවතී ගලප්පත්ති යන මහත්ම මහත්මීන් ද ශී‍්‍ර ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගානුමා මහතා ඇතුළු ආරාධිත පිරිසක් ද කලවංචිකුඩි රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය සුගුණන් මහතා ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඩී.ඒ .රාජපක්ෂ මහතා සහ එම මහත්මියගේ දේහයන් තැන්පත් කැර ඇති ස්ථානයේ ඉදිකරන ලද ස්මාර්කය වෙනුවෙන් වැය කරන ලද මුදල් පිළිබදව විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

ඒ අනුව මුදල් අමාත්‍යංශයට අයත් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් නිලධාරීන් සහ හම්බන්තොට දිස්ත්‍රික් තක්සේරු නිලධාරීන් ඊයේ(19) පෙරවරුවේ මැදමුලන ඩී.ඒ .රාජපක්ෂ ස්මාර්කය වෙත ගොස් එහි විමර්ශන කටයුතු හා මිණුම් කටයුතු සිදු කළහ. 

එම මූල්‍ය වංචාවේ අවසන් පරීක්ෂණ සඳහා තක්සේරු වාර්තාව ලබා ගැනීම සිදුකරන බව එම නිලධාරීයෙකු පැවසී ය.

මෙම අවස්ථාව සදහා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ද පැමිණ සිටි බව වාර්තා වේ.

එවකට පැවති රජය පහත් බිම් ගොඩ කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ නව සියයක් යොදවා මෙම ඉදි කිරීම් කර ඇති බවට ලද තොරතුරු මත මෙම විමර්ශන කටයුතු ආරම්භ කෙළේය. 

මෙහි අවසන් වාර්තාව සකස් කිරීම සඳහා මෙදින විමර්ශන හා මිණුම් කටයුතු සිදු කළහ.

2014 නොවැම්බර් 06 වැනිදා එම ස්මාර්කයේ ඉදිකිරීම් කටයුතු වලදී රුපියල් කෝටි 9ක රජයේ මුදල් අවභාවිතා කළ ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

එම පරීක්ෂණ වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් ඊට අදාලව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්ද ප්‍රකාශයක් ලබා ගෙන ඇති බවත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පැවසී ය.

2020 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්‌ෂක ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තීරණයක්‌ ගෙන නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කරමින් බවද ඇය පෙන්වා දුන්නාය.

තමා පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරියක බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා 2020 ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්‌ෂකයා ලෙස ඉදිරිපත් වන බවට ඇතැමුන් ප්‍රකාශ කළත් තමා ජ්‍යෙෂ්ඨයකු ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් එවැනි තීරණයක්‌ ගෙන නොමැති බව දන්නා බවත් ඊයේ(10) ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කළාය.

ජනපති අපේක්ෂකයා මෛත්‍රී

මේ අතර සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ඊයේ(10) එම අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ ද පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවයි.

පක්ෂයේ කාන්තා හා තරුණ සමිති වල මෙන්ම පක්ෂයට අනුබද්ධ වෘත්තිය සමිතිවල ප්‍ර‍බල ඉල්ලීම වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම බවත්, එහෙත් ජනාධිපතිවරයා මේ පිළිබඳව කිසිදු අදහසක් ප්‍ර‍කාශ කර නැති බවත් අමාත්‍යවරයා පැවසී ය.

2014 පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති වුවත්, මෛත්‍රීපාල ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ බහුතරයකගේ ඉල්ලීමෙන් පක්ෂයේ සභාපති ධූරය භාරගත් නිසා පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට පක්ෂය කරන ඉල්ලීම පිළිබඳව ඔහු අනුකූලතාවයක් දැක්විය යුතු බවද එස්.බී.දිසානායක ඇමැතිවරයා සඳහන් කළේය.

බහුතරය දිනාගන්න මෛත්‍රීට පුළුවන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකාවේ සුළු ජාතික ඡන්ද 27% ක් තිබෙන බවත් එම ඡන්දවලින් අති බහුතරය දිනාගැනීමේ හැකියාව තිබෙන එකම අපේක්ෂකයා වත්මන් ජනපතිවරයාය යන්න පක්ෂයේ මෙන්ම තමන්ගේද ස්ථාවරය බවත් ඔහු පෙන්වා දුන්නේය.

පක්ෂයේ එම තීන්දුව පිළිබඳව මධ්‍යම කාරක සභාවේ මුලසුන හෙබැවූ ජනාධිපතිවරයා කිසිදු අදහසක් පළ නොකළ බවත් අමාත්‍යවරයා පැවසී ය.

මෛත්‍රීට සදාචාරාත්මක අයිතියක් නෑ

එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් යහපාලන රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන එජාපයේ ඇමැතිවරයෙකු වන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අදහස් පළ කර තිබිණි.

ඔහු සඳහන් කළේ විධායක ජනාධිපති පදවිය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම පදවිය තවදුරටත් පවත්වාගෙන යාමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

ස්වාධීන දේශපාලන පක්ෂයක් ලෙසින් තමන්ට අවශ්‍ය තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතියක් තිබෙන නමුත්, එම පක්ෂයේ පවා විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමේ ප්‍රතිපත්තිය මත දේශපාලනයේ යෙදුනු කණ්ඩායම්වලටත් එවැනි ස්ථාවරයක් දැරීමේ සදාචාරාත්මක අයිතියක් නැති බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් 2015 ජනවාරි 09 වැනි දා ජනපති ධූරයේ දිවුරුම් දුන් අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, යළිත් වරක් ජනපතිවරණයකට ඉදිරිපත් නොවන බවට ප්‍රතිඥාවක් දුන්නේ ය. 

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෙදුනු හදිසි කටයුත්තක් හේතුවෙන් අද(04) දිනයේ ජනාධිපතිවරයා හට යෙදී තිබුනු යාපනය සංචාරය අවලංගු කොට ඇති බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කළේය.

අද දිනයේදී යාපනය, පලාලි ගුවන් හමුදා කඳවුරේදී ත්‍රිවිද හමුදාපතිවරුන් ඇතුලු ආරක්ෂක අංශ නායකයින් හමු වීම හා යුද්දයෙන් මිය ගිය රණවිරුවන් සිහිකිරීමේ අවස්ථාවක්ද ඉන් අනතුරුව යාපනයේ පිහිටි උතුරු ආණ්ඩුකාර කාර්යාලය අසලදී ‘ජනපතිට කියන්න‘ වැඩසටහනේ පළමු ශාඛා කාර්යාලය විවෘත කිරීමට නියමිතව තිබූ අතර පසුව යාපනය කොටුවේ පිහිටි ව්‍යායාම මංතීරුවේ රුක් රෝපන වැඩසටහන් සඳහා ජනාධිපතිවරයාගේ සහභාගීත්ව සංවිධානය කොට තිබුණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාට යෙදුනු හදිසි කටයුත්තක් හේතුවෙන් මෙසේ යපනය සංචාරය අවලංගු කොට ඇති අතර අදාල උත්සව අවස්ථාවන් සඳහා වෙනත් දිනයක් දැනුම් දෙන බවටද උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය වෙතට දැනුම් දී ඇත.