April 24, 2024

රතන හිමි ඉවත්වීමට සූදානම් - අගමැතිගෙන් තරවටුවක්

එක්‌සත් ජාතික පක්‌ෂ ජාතික ලැයිස්‌තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් පසුගියදා ආණ්‌ඩුව විවේචනය කරමින් කළ ප්‍රකාශයක්‌ සම්බන්ධව ඊයේ (06) පස්වරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්‌ඩු පක්‌ෂ රැස්‌වීමේදී දැඩි ලෙස විවේචනයට ලක්‌ වීම නිසා එම රැස්‌වීම දැඩි උණුසුම්කාරී වූ බව වාර්තා වේ.

පසුගිය මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පමණක්‌ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළේ නැතැයි කියා කළ ප්‍රකාශය ජාතික ලැයිස්‌තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ආශු මාරසිංහ මහතා විමසීමත් සමඟ මෙම උණුසුම්කාරී තත්ත්වය මතු විය.

එහිදී අතුරලියේ රතන හිමියන් පැවසුවේ අවශ්‍ය නම් තමා මන්ත්‍රීධුරයෙන් ඉවත් වන්නම් යැයි කියාය.

මතු වූ උණුසුම්කාරී තත්ත්වය පාලනය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ එක්‌සත් ජාතික පක්‌ෂය ජයග්‍රහණය නොකළා නම් මේ ආණ්‌ඩුව පිහිටු වීමට නොහැකි වන බවය. 

ඒ නිසා පක්‌ෂ දෙකක්‌ එක්‌ව කටයුතු කිරීමේදී ඉවසීමෙන් යුතුව සහ ගැටුම් ඇති නොවන ලෙස කටයුතු කිරීම කාගේත් වගකීම බවද මෙහිදී අගමැතිවරයා සඳහන් කළේය.