May 06, 2024
Main

Main (651)

යහපාලන ආණ්‌ඩුවේ අලුත්ම කැබිනට්‌ මණ්‌ඩලය ලබන සඳුදා (09 වැනිදා) දිවුරුම් දෙන බව සම කැබිනට්‌ ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ආණ්‌ඩු පක්‌ෂයේ මැති ඇමැතිවරුන් අතරින් විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය නොදුන් කිසිවකුට තවදුරටත් ආණ්‌ඩු පක්‌ෂයේ කටයුතු කළ නොහැකි බව ඇමැතිවරයා සඳහන් කළේය.

විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ඇමැතිවරුන්ට මෙන්ම විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ මැති ඇමැතිවරුන්ට ද තවදුරටත් සදාචාරාත්මකව ආණ්‌ඩුවේ සිටිය නොහැකි බව ඇමැතිවරයා පැවසීය.

ඒ අනුව සඳුදා සිට පිරිසිදු ආණ්‌ඩුවක්‌ සකස්‌ කරන බවත් ඒ එය කැබිනට්‌ සංශෝධනයක්‌ නොව නව අමාත්‍ය මණ්‌ඩලයක්‌ දිවුරුම් දීමක්‌ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය ද වෙනස්‌ විය හැකි බව ද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

“ඡන්දය දුන්නේ නැති අයට තවදුරටත් ආණ්‌ඩුවේ ඉන්න බැහැ. ඉවත් කරන්න කලින් ඒ අය යා යුතුයි. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සඳුදා නව කැබිනට්‌ මණ්‌ඩලය දිවුරුම් දෙනවා. විශ්වාසභංගය තමයි අපේ හැරවුම් ලක්ෂ්‍යය“ යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (04) පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 01 හි දී පැවති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

මේ අතර විශ්වාස භංගයේදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය භාවිත කළ ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද(05) ලිඛිතව ඉල්ලීමක් කළහ.

ආණ්ඩු විරෝධී කැබිනට් ඇමැතිවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හඳුන්වා ඇති ඇමැතිවරුන් වන්නේ එස්.බී. දිසානායක, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි සහ දයාසිරි ජයසේකර යන ශ්‍රීලනිප ඇමැතිවරුන්ය.
පැවැති විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමෙන් පසුව එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කර ඇත.

ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේනය කිරීම, කැබිනට් තීරණ විවේචනය කිරීම ආදී ආණ්ඩු විරෝධී ක්‍රියා හේතුවෙන් ඔවුන්ව මෙලෙස ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.

එහි පිටපතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද යොමුකර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර, මුහුණට මුහුණ සාකච්ඡාවක් ඊයේ (29) රාත්‍රීයේ දී පවත්වා තිබේ.

ඒ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිළ නිවසේ දීය.

එහි දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට රජයක් ලෙස ඒකාබද්ධව මුහුණ දීමට සාකච්ඡා කර තිබේ.

තවද එම විශ්වාසභංග යෝජනාවෙන් පසු පක්ෂ දෙකම ඒකාබද්ධව රජය ඉදිරියට ගෙන යන වැඩපිළිවෙල පිළිබදව ඇතුළු තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා ඇත.

පැය 4 කට අධික කාලයක් පුරා පැවති මෙම සාකච්ඡාව, නිමව ඇත්තේ රාත්‍රී 11.30 ට පමණ පසුව බව වාර්තා වේ.

මෙම නායකයින් දෙදෙනාටම සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද ලබා දී තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟවි ඇති බවයි.

2020 වන තුරු ආණ්ඩුව ගැටලුවකින් තොරව කරගෙන යෑමට ද නායකයන් දෙදෙනා එහිදී එකඟ වී තිබේ.

එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමතරව රට ගැන තීන්දු තීරණ ගැනීමේදී සහ ප්‍රශ්න සාකච්ඡා කිරීමේදී තවත් පුළුල් පිරිසකට අවස්ථාව සලසා දීම ගැන ද එම සාකච්ඡාවේදී පෙන්වා දී ඇත.

එජාපෙ හමුවට රිෂාඩ් - හකීම් නෑ

මේ අතර අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර ඊයේ (29) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්විණි.

එම සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවති බව වාර්තා වේ.

ඊට අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, නවීන් දිසානායක, සරත් ෆොන්සේකා සහ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාද එක්වී තිබේ.

විශ්වාසභංගයේදී අගමැතිවරයාට සහය දීම කෙරෙහි ඔවුන්ගේ අවධානය එහිදී යොමුවී ඇති බව ආරංචි මාර්ග පැවසී ය.

විශ්වාසභංගයට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් තීරණය කර ඇති බව පසුගියදා සුවසිරිපායේ පැවති විශේෂ සාකච්ජාවකින් අනතුරුව වාර්තා විය.

එම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, අර්ජුන රණතුංග, රාවුෆ් හකීම්, පී දිගම්බරම්, මනෝ ගනේෂන්, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ චතුර සේනාරත්න එක්ව සිටියහ.

කෙසේ වෙතත්, ඊයේ (29) පැවති සාකච්ඡාවට අමාත්‍ය රිෂාඞ් බදියුදීන් හෝ රාවුෆ් හකීම් සහභාගි වී නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව පිහිටුවීමට යන එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යධුරය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලබාදීමට ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවය හිමිව තිබේ.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති හමුවෙන් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ තිබේ.

අගමැති ඉවත් කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා මේ බව පැවැසුවේ ජනාධිපතිවරයාගේ නිල නිවසේ මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාව අතරතුර නික්ම යන අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මේ අතරතුර ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජයක්‌ පිහිටුවීම සඳහා සූදානම් බව හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට දැනුම් දී තිබේ.

එයට ප්‍රතිචාර දැක්‌වූ හිටපු ජනාධිපතිවරයා එජාපයෙන් ඉවත්ව පිහිටුවන සන්ධාන රජයකට සහාය ලබාදෙන බව සඳහන් කර ඇත.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවකට සහය ලබා දීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කොන්දේසි විරහිතව ජනාධිපතිවරයා වෙත සිය එකඟතාවය පළ කර තිබේ.

ඒ අනුව ඉදිරි දේශපාලනික වැඩ කටයුතු සඳහා සාකච්ඡා කිරීමට කමිටුවක් පත් කිරීමට ද එකඟතාවයට පැමිණ ඇත.

එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන මහතාත් සන්ධානය නියෝජනය කරමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාත් මෙම කමිටුවේ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට පත් කර ඇත.

කෙසේ වෙතත් සන්ධාන ආණ්ඩුවකට ඒකාබද්ධයේ සහය පළ කළ ද අග්‍රාමාත්‍යධූරය ඇතුළු කිසිදු අමාත්‍යධූරයක් සිය සමාජිකයින් බාර නොගන්නා බව ද මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිව තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන් යහපාලන ආණ්ඩුවේද දැඩි වෙනසක් ඇති විය යුතු බවට ජනාධිපතිවරයාගේ අදහස වී තිබිණි.

කෙසේ වෙතත් ඊයේ(13) දිනයේදී එම දේශපාලන අර්බුදයේ උච්චතම අවස්ථාවට එළඹ තිබිණ.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් අතර ඊයේ රාත්‍රී 10.00 පමණ වන තුරු විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

අවසානයේදී එම සාකච්ඡාව අවසන් වූයේ වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳ තීරණයක් ගැනීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරීමට එකඟ වීමෙනි.

එම විශේෂ සාකච්ඡාවෙන් පසු එජාප අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ ආණ්ඩුවේ වෙනසක් ඇති කිරීම පිළිබඳ සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කළ බවත් එම කමිටුවේ තීරණය අද පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව අද පස්වරුවේදී ජනාධිපතිවරයාට දැනුම් දෙන බවත්ය.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට එක්සත් ජාතික පක්ෂය මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයද බලවත් පරිශ්‍රමයක යෙදී සිටිති.

ඒ අනුව එජාපයේ පසු පෙල මන්ත්‍රීවරුන් අගමැතිවරයාට යෝජනා කර ඇත්තේ එජාපය තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ මීළඟ රජය කවරාකාර විය යුතුද යන්න පිළිබඳව විදේශීය තානාපතාවරුන්ද බලවත් උනන්දුවකින් සිටින බවත් දැනගන්නට ඇත. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා සහ ඉන්දීය තානාපතිවරයා අද දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

“මහජනතාවගේ කැමැත්තකින් තොරව මම අගමැති කම් භාර ගන්නේ නෑ. ඊට වඩා සුදුසුයි ගෙදරට වෙලා පැදුරක් එළා ගෙන බුදිය ගන්න එක. ජනාධිපතිවරයා කළ යුතුව ඇත්තේ අවුරුදු දෙකක් කල් ගන්නේ නැතිව ජනතා කැමැත්තට ඉඩ දී මැතිවරණ පවත්වා ජනතාව කැමති දේශපාලන පක්ෂයකට රට පාලනය කිරීම සඳහා ඉඩ දියු යුතු එකයි." යැයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ හම්බන්තොට දී පැවසීය.

"අපි අපෙන් ගිය කිසිවෙකු සමඟ හෝ එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත වී ආණ්ඩුවක් පිහිටු වීමට අදහස් නොකරන බවත් පොදුජන පෙරමුණට ඡන්දය දීපු ජනතාව එය අනුමත නොකරන බවත් අපි විශ්වාස කරනවා." යැයිද චමල් රාජපක්ෂ මහතා පැවසී ය.
එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මේ වන විට උත්සහයක නිරතව සිටින බව ඇමති මනෝ ගනේෂන් මහතා පැවසී ය.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂනායක වරුන් ඊයේ පස්වරු 6.30ට අරලියගහ මන්දිරයට කැඳවන ලද අතර එහිදී ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟ එක්ව තීන්දු තීරණ ගන්නා බවද මනෝ ගනේෂන් ඇමතිවරයා පැවසීය.

අද (10) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළත් අපේක්ෂකයන් 62 දෙනකුගේ ආසන හිමිකාරීත්වය පිළිබඳ දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

මෙසේ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් 62ක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය කාලය තුළ කටයුතු කර ඇති නිසා ඔවුන්ට එරෙහිව අධිකරණ හමුවේ නඩු පවරා ඇති බැවින් එම නඩුවලින් ඔවුන් වැරැදිකරුවන් වුවහොත් දණ්ඩ නීති සංග්‍රහයට අනුව එම වරදට හිමි දඬුවම වන්නේ වසර හතක ඡන්ද අයිතිය අහිමිවීම සහ එම ඡන්ද අපේක්ෂකයාට හිමි ආසනය අහිමිවීම වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසී ය.

මේ අවදානම් තත්ත්වයට පත්ව සිටින ඡන්ද අපේක්ෂකයන්ට එල්ල වී ඇති චෝදනා වන්නේ අල්ලස් දී ඡන්දය ලබා ගැනීමට උත්සාහ කිරීම, ඡන්දය මුදලට ලබා ගැනීමට කටයුතු කිරීම කූඨ ලේඛන සකස් කිරීම ඡන්ද කාඩ්පත් හා ජාතික හැඳුනුම්පත් නීති විරෝධී ලෙස ළඟ තබා ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පහර දීම් බැණ තර්ජනය කිරීම් පහර දීම් ඇතුළු වෙනත් ඒ හා සමාන වැරැදි සිදු කිරීම් ඇතුළු විවිධ වැරැදි විශාල සංඛ්‍යාවකට අත්අඩංගුවට ගත් අපේක්ෂකයන් 62ක් සම්බන්ධයෙන් මේ වන විට නඩු විභාග වන බව වාර්තා වේ.

එම අපේක්ෂකයන් එම වැරැදි සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට පැමිණවීමෙන් පසු ඇප ලබා සිටින අය වෙති. මේ 62 දෙනා අතරින් දෙදෙනෙක් තවමත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටිති‍.

මේ අනුව පසුගිය දෙසැම්බර් 09 වැනි දින සිට මේ දක්වා පොලිස් මූලස්ථානයට වාර්තා වු මැතිවරණ පනත උල්ලංඝනය කිරීම් 191ක් ද මැතිවරණ පැමිණිලි 640ක් සමඟ පැමිණිලි 831ක් වාර්තා වී ඇත.

මෙසේ අවදානම් තත්ත්වයේ ඇති ආසනවලට තරග කරන එම අපේක්ෂකයන් මැතිවරණ නාමයෝජනා ඉදිරිපත් කළ ප්‍රධාන පක්ෂ ඇතුළු පක්ෂ කිහිපයකටම අයත් වෙති.

බැඳුම්කර සිද්ධියට අදාල රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පපෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ ප්‍රධාන නිලධාරි කසුන් පලිසේන යන සැකකරුවන් සම්බන්ධයෙන් ඇප නියෝගය ලබන 16 වැනි දා ලබා දෙන බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (09) දැනුම් දුන්නාය.

පැමිණිල්ලේ ලිඛිත දේශන බාර ගැනීමෙන් පසු මෙම නියෝග නිකුත් කැරිණි.

පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා වෙනුවෙන් කර ඇති ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සිය දෙපාර්තමේන්තුව දැඩි විරුද්ධත්වය දක්වන බව නීතිපති දෙපාර්තමේන්තුව අද ලිඛිතව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට කරුණු දක්වා තිබේ.

දෙපාර්ශවයේ විසින් කර ඇති සියලු කරුණු සළකා බලා එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන පෙබරවාරි 16 වන දා පස්වරු 2කට නිකුත් කරන බවට මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා ගත් රහස්‍ය තොරතුරු උපයෝගී කර ගනිමින් නීතියානුකූල නොවන ආකාරයෙන් රුපියල් කෝටි 9147 ක මුදලක් උපයා ගැනීම රජයට අලාභ කිරීම හා අනුබල දීම යන චෝදනා යටතේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව රජයේ ප්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනෙකුගේ ඇමැති ධූර කිහිපයක වෙනසක් සිදු වන බවද වාර්තා වේ.

විශේෂයෙන් එජාපයේ ඇමැතිවරුන්ට ලබා දී ඇති ඇමැතිධූර ගැන ඇමැති ඇමැතිවරුන් කළකිරීමෙන් සිටින බවත් ඔවුන්ගේ ඇමැති ධූර පිළිබඳව සැලකිල්ලට ලක් කරමින් මෙම සංශෝධනය සිදු කිරීමට නියමිත බවත් වාර්තා වේ.

විශේෂයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පාක්ෂිකයින්ට රැකියාවක් හෝ ලබා දීමට හැකියාවක් නොමැති ඇමැතිධූරයක් තමන්ට ලබා දී ඇති බවත් ඉන් තමන්ගේ බල ප්‍රදේශයට වැඩක් කළ නොහැකි බවත්ය.

කෙසේ වෙතත් ඊයේ (24) පැවැති කොළඹදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසූවේ ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී රටට යහපත් සංශෝධන කිහිපයක් සිදුකරනු ඇති බවයි.

ජාතික ආණ්‌ඩුව අපේ වැඩක්‌

මේ අතර එක්‌සත් ජාතික පක්‌ෂය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය අතර හවුල් ආණ්‌ඩුව දීර්ඝ කිරීමේ නව ගිවිසුමක්‌ තමන්ට ලැබී නැතැයි කථානායක කරූ ජයසූරිය මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ස්‌ථාවර නියෝග 23/2 යටතේ දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයකට පසු ඇති වූ විවාදයේදී කථානායකවරයා මේ බව කීවේය.

දිනේෂ් ගුණවර්ධන මහතා, - “ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ නිශ්චිතව ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව දක්‌වා ඇති බව පිළිගන්නවාද? අද වනවිට මෙම සංඛ්‍යාව උල්ලංඝනය කර ඇති බව පිළිගන්නවාද? අගමැතිවරයා විසින් මෙම පත්වීම් නිර්දේශ කළ යුතු බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පැහැදිලිව කියෑවෙනවා. අගමැතිගේ උපදෙස්‌ මත ජනාධිපතිගේ අත්සන යටතේ ලිපියක්‌ මගින් ඇමැතිවරුන් පත්කිරීම ගැන සඳහන්.“

පසුගිය මාසයේදී රාජ්‍ය ඇමැතිවරුන් ලෙස ශ්‍රියානි විඡේවික්‍රම හා පියසේන ගමගේ යන අය පත්කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව නිර්දේශයක්‌ තිබෙනවාද? ව්‍යවස්‌ථාවේ ඉහත වගන්තිය අනුව එජාපය හා ශ්‍රීලනිපය අත්සන් කළ ගිවිසුම 2017 දෙසැම්බර් 31 දිනට අවසන් වී ඇති බව පිළිගන්නවාද? ඒ අනුව කැබිනට්‌ ඇමැතිවරු සංඛ්‍යාව තිහක්‌ දක්‌වා අඩුවිය යුතු බව පිළිගන්නවාද?

සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා, - “ඇයි ඔබතුමා ශ්‍රියානිට විරුද්ධ?“

දිනේෂ් ගුණවර්ධන මහතා - “ශ්‍රියානිව ඔබතුමා ළඟින් තියාගන්න. හවුල් ආණ්‌ඩු ගිවිසුම ඉවරද නැද්ද කියන්න.“

කථානායක - “අගමැතිතුමා ඉදිරියේදී පිළිතුරක්‌ දෙයි.“

සභානායක- “නෛතික ප්‍රශ්නයක්‌ නෑ. ඒ අය එන්න සූදානම් නම් අපි භාරගන්න ලෑස්‌තියි.“

අනුර කුමාර දිසානායක මහතා - “ජාතික ආණ්‌ඩුවක්‌ ගොඩනඟනවා කියන පදනම මතයි ඇමැතිවරුන් 48 ක්‌ හා රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් 45 ක්‌ පත් කළේ. එජාපය හා එජනිස ගිවිසුම අනුව හවුල් ආණ්‌ඩුවේ කාලය අවසන්. කථානායකතුමනි ඔබතුමාට නව ගිවිසුමක්‌ දුන්නද?“

කථානායක- “නෑ දුන්නේ නෑ.“

සභානායක - “ජාතික ආණ්‌ඩුව අපේ ප්‍රශ්නයක්‌.“

අනුර දිසානායක මහතා - “නෑ. එය රටේ ප්‍රශ්නයක්‌. ගිවිසුම දීර්ඝ කළා නම් කථානායකට භාරදෙන්න.“

කථානායක - “මට එහෙම ලිපියක්‌ ලැබී නෑ.“

සභානායක - “ජාතික ආණ්‌ඩුව අපේ වැඩක්‌...“

අනුර කුමාර දිසානායක මහතා - “නෑ...නෑ...තමුන්නාන්සේලාගේ වැඩක්‌ නොවේ...“

යහපාලන ආණ්ඩුව තුළ මේවන විට දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්වී තනි ආණ්ඩුවක් පිහිටුවීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් බහුතරයකගේ මතය වී ඇත්තේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ලබන පෙබරවාරි 10 වැනිදායින් පසු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි.

ඒ සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ද බැඳුම්කර සිද්ධිය ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් යහපාලන ආණ්ඩුවෙන් ඉවත්ව තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුවේ මෙම අර්බුදය තවත් දිග්ගැස්සීමට හේතුවී ඇත්තේ එජාපයේ ඇතැම් ඇමැතිවරු සහ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාව දැඩිව විවේචනය කර ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීමත් සමගය.

ජනපති කැබිනට් රැස්වීමෙන් නැගිට යයි

මේ අතර පසුගිය අඟහරුවාදා උදෑසන පැවති කැබිනට් රැස්වීමට පැමිණි ජනාධිපතිවරයා පැය එකහාමාරක කාලයක් ගෙන එජාපයේ මැති ඇමැතිවරුන්ගේ ගැන දැඩි ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමෙන් නැගිට ගොස් තිබිණි.

කතාව ආරම්භයේදී ජනාධිපතිවරයා ජනවාරි 8 දේශපාලන විප්ලවය කිරීමට හේතුවූ කාරණා සහ එම මෙහෙයුම ඉතා දීර්ඝව පැහැදිලි කරදී ජීවිතය පරුදුවට තබමින් රාජපක්ෂ ආණ්ඩුවෙන් එලියට ආ සිද්ධි නැවතත් මතක් කරමින් යහපාලන රජයක් බිහි කිරීමට ජනතාවට දුන් පොරොන්දුව සියලු ඇමතිවරුන්ට සිහිපත් කරමින් දින 100 ආණ්ඩුව තුලදී මහබැංකු වංචාව සිදුවූ බවත්, එය මේ රජයට ලොකු විශාල කැළලක් යන්නද ප්‍රකාශ කර ඇත.

මේ ආකාරයට ආණ්ඩු කළ නොහැකි බව එහිදී ප්‍රකාශ කර ඇති ජනපතිවරයා ආණ්ඩුව කරගෙන යනවාද නැද්ද යන්න එජාප මැති ඇමැතිවරුන් තීරණය කළ යුතු බවද කියා සිටිමින් රැස්වීමෙන් පිටව ගිය බවද වාර්තාවිය.

අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් කිහිප දෙනකු ජනපති කාර්යාලයට ගොස් මෙවැන්නක් ඉදිරියට ඇතිවීමට ඉඩ නොතබන බව කියමින් ජනපතිවරයා නැවත කැබිනට් රැස්වීමට කැඳවාගෙන පැමිණ ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ "ආණ්ඩුවේ ප්‍රතිවාදීන් වගේම මාධ්‍ය කියන තරමේ අර්බුදයක් ආණ්ඩුව ඇතුළේ නෑ. රට අස්ථාවර වෙන කිසිම තීන්දුවක් ජනාධිපතිවරයා ගන්නෙත් නෑ.“ යන්නය.
ඒ ප්‍රකාශය තුළින්ද පෙනී යන්නේද ආණ්ඩුව තුළ මේවන විට අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි.

ඒ හේතුවෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු ප්‍රධාන පක්ෂ දෙක යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වී තනි ආණ්ඩු පිහිටුවීමට වැඩි ඉඩකඩක් ඇතැයි වාර්තාවේ.

එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීම ඊයේ (17) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අගමැතිවරයා එජාප මැති ඇමැතිවරුන්ට තරයේ අවවාද කර ඇත්තේ මින් ඉදිරියට කිසිදු හේතුවක්‌ නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවේචනය කිරීමෙන් වළකින ලෙසයි.

අප පත් කරගත් අපේ ජනාධිපති කිසිවකු විවේචනය නොකළ යුතු බව හරීන් ප්‍රනාන්දු සහ එස්‌. එම්. මරික්‌කාර් මහත්වරුන්ගේ නම් කියමින් අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

එහිදී හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා කියා ඇත්තේ ඉවසීමේ සීමාව ඉක්‌මවා ගිය නිසා ඇතැම් අවස්‌ථාවල විවේචනය කිරීමට සිදුවූ බවයි.

ඊට පිළිතුරු දෙමින් අගමැතිවරයා පවසා ඇත්තේ තමන් කැබිනට්‌ ඇමැතිවරයකු ලෙස පත් කළේත් එම පත්වීම ලබා ගත්තේත් ජනාධිපති අතින් බව අමතක නොකරන ලෙසයි. එස්‌. එම්. මරික්‌කාර් මන්ත්‍රීවරයාද කියා ඇත්තේ තමන් කොලොන්නාවේදී ප්‍රකාශ කළ දෙය වැරදි අයුරින් වාර්තා කර ඇති බවත් තමන් ඒ පිළිබඳව ජනපති හමුවූ විට කරුණු පැහැදිලි කරන බවත්ය.

මෛත්‍රී ගැන මඩ මෙහෙයුමක්

මේ අතර හිටපු ඇමැති රවි කරුණානායක මහතාද ඇතැම් වෙබ් අඩවි ඔස්‌සේ ජනාධිපතිවරයාට මඩ ගසන බවට තමන්ට ජනාධිපතිවරයා පැවැසූ බවත් එලෙස කරන්නේ නම් එය වහා වැළැක්‌විය යුතු බවත් අගමැතිවරයා කියා තිබේ. එහිදී රවි කරුණානායක මහතා එම චෝදනාව තරයේ ප්‍රතික්‍ෂේප කරමින් තමන් කිසිදිනෙක එවැන්නක්‌ නොකළ බව පවසා ඇත.

ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට තරග කරන එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක ලැයිස්‌තුව සම්මත කර ගැනීමේ අරමුණින් කැඳවා තිබූ මෙම කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී බැඳුම්කර කොමිෂන් සභාව පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමුකරමින් අගමැතිවරයා පවසා ඇත්තේ කොමිසමට එක්‌සත් ජාතික පක්‍ෂයේ පූර්ණ සහයෝගය හිමිවන බවයි. හොරු ඇල්ලීමට පත්වූ ආණ්‌ඩුවක්‌ ලෙස හොරු ඇල්ලීමට ජනපතිවරයා ගනු ලබන ක්‍රියා පිළිවෙතට කිසිවකුත් බාධා නොකළ යුතු බවද හෙතෙම එහිදී පවසා ඇත.

තමන්ද කිසිවිටෙක හොරුන්, වංචාකරුවන් ආරක්‍ෂා නොකරන බව කියා ඇති අගමැතිවරයා තමා ආරක්‍ෂා කිරීමට කිසිවකුත් ඉදිරිපත් නොවිය යුතු බවද පවසා තිබේ.

කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීම් අතරතුර නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා “සර් බැඳුම්කරයෙන් වංචාවක්‌ වෙලාම නැද්දැයි“ උපහාසයෙන් විමසා තිබේ. ඒ පිළිබඳව කොමිෂන් සභා වාර්තාව මගින් හෙළි කරනු ඇතැයි අගමැතිවරයා පවසා තිබේ.

ඊයේ (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පොහොර අර්බුදය සම්බන්ධයෙන් ඇමැතිවරුන් දැඩි චෝදනා ස්වරූපයෙන් අදහස් දැක්වීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හටගත් බව වාර්තා වේ.

කන්න තුනක් තිස්සේ වගා කිරීමට නොහැකි වූ බැවින් ගොවීන්ට නොමිලේ පොහොර දෙන්නැයි ආපදා කළමනාකරණ ඇමති අනුර යාපා මහතා කැබිනට් රුස්වීමේදී ඉල්ලීමක් කර ඇත.

නියඟය ආදී ස්වභාවික හේතු නිසා ගොවීන්ට කන්න තුනක් තිස්සේ නිසිලෙස වගා කටයුතු කිරීමට නොහැකි වූ බවද ඇමතිවරයා පෙන්වා දී ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ පෙරවරුවේදී රැස් වූ අවස්ථාවේ දැනට මතුව ඇති පොහොර අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ඇමතිවරයා එහිදී මේ බව පවසා ඇත.

එහිදී අදහස් දක්වා ඇති මුදල් ඇමති මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ ගොවීන්ට පොහොර නොමිලේ අලුතින් දිය යුතු නැති බවත් දැනටද ඔවුන්ට පොහොර ගැනීමට රජයෙන් මුදල් දෙන බවත්ය.

දැනට මතුවි ඇති පොහොර අර්බුදය සම්බන්ධයෙන් ඇමතිවරු ගණනාවක් චෝදනා ස්වරූපයෙන් අදහස් දක්වා ඇති බවද වාර්තා වේ.

එම චෝදනා වලට පිළිතුරු දී ඇති කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පෙන්වා දී ඇත්තේ පොහොර ගෙන්වීම රජයෙන් ඉවත් කර සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට දීමට මුදල් අමාත්‍යංශය මීට පෙර කටයුතු කළ බවත් මෙම අර්බුදයට එයද හේතුවක් බවත්ය.

පෞද්ගලික අංශ පොහොර මෙට්‍රික් ටොන් 40,000 ක්ද, රජය මඟින් පොහොර මෙට්‍රික් ටොන් 35,000 ක්ද පකිස්ථානයෙන් ආනයනය කිරීමට ඇනවුම් කර ඇතත්, පකිස්ථානය පොහොර අපනයනය කිරීම සීමා කිරීම නිසා නියමිත අවස්ථාවේ පොහොර නොලැබුණු බවද ඇමතිවරයා සඳහන් කර ඇත.

ජනතාවට මුහුණ දෙන්න බෑ - සජිත් කියයි

ජනාධිපතිවරයාගේද මැදිහත් වීම මත මේ දිනවල පොහොර ලැබෙමින් පවතින බව පවසා ඇති ඇමති දිසානායක මහතා ඉදිරි දින කිහිපය පොහොර හිඟය මග හැරෙනු ඇති බවද සඳහන් කර තිබේ.

එහිදී අදහස් දක්වා ඇති නිවාස සහ ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස මහතා පොහොර හිඟය නිසා මිනිසුන්ට මුහුණ දීමට බැරි තත්ත්වයකට පත්ව ඇති බව ප්‍රකාශ කර තිබේ.

ගොවීන්ට පොහොර මිටිය රුපියල් 350කට ලබා දිය යුතු යැයි ද ඇමති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොවීන්ට අවශ්‍ය තරම් පොහොර ලබාදීමට පියවර ගන්නැයි ඇමති දුමින්ද දිසානායක මහතාට උපදෙස් දී ඇත.