May 19, 2024

ශ්‍රීලනිප ආණ්ඩුවකට මහින්ද - මෛත්‍රී එක්වෙයි: අගමැති නිමල්! සම්බන්ධීකරණයට සුසිල් - දිනේෂ් කමිටුවක්

February 16, 2018

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව පිහිටුවීමට යන එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යධුරය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලබාදීමට ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවය හිමිව තිබේ.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති හමුවෙන් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ තිබේ.

අගමැති ඉවත් කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා මේ බව පැවැසුවේ ජනාධිපතිවරයාගේ නිල නිවසේ මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාව අතරතුර නික්ම යන අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මේ අතරතුර ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජයක්‌ පිහිටුවීම සඳහා සූදානම් බව හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට දැනුම් දී තිබේ.

එයට ප්‍රතිචාර දැක්‌වූ හිටපු ජනාධිපතිවරයා එජාපයෙන් ඉවත්ව පිහිටුවන සන්ධාන රජයකට සහාය ලබාදෙන බව සඳහන් කර ඇත.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවකට සහය ලබා දීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කොන්දේසි විරහිතව ජනාධිපතිවරයා වෙත සිය එකඟතාවය පළ කර තිබේ.

ඒ අනුව ඉදිරි දේශපාලනික වැඩ කටයුතු සඳහා සාකච්ඡා කිරීමට කමිටුවක් පත් කිරීමට ද එකඟතාවයට පැමිණ ඇත.

එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන මහතාත් සන්ධානය නියෝජනය කරමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාත් මෙම කමිටුවේ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට පත් කර ඇත.

කෙසේ වෙතත් සන්ධාන ආණ්ඩුවකට ඒකාබද්ධයේ සහය පළ කළ ද අග්‍රාමාත්‍යධූරය ඇතුළු කිසිදු අමාත්‍යධූරයක් සිය සමාජිකයින් බාර නොගන්නා බව ද මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

Last modified on Friday, 16 February 2018 14:00