May 03, 2024
Main

Main (651)

බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර එම කොමිසමෙන් පිටව ගියේ ය.

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ වැඩ කටයුතු අද(20) පෙරවරු 10.00ට ආරම්භ විය.

එම කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැමිණි අතර පසුව පැයකට අධික කාලයක් ප්‍රශ්න කිරීම් සිදු කිරීමෙන් අනතුරුව පෙරවරු 11.15ට පමණ අගමැතිවරයාගෙන් සාක්ෂි විමසීම අවසන් කර තිබිණි.

එම කොමිසමෙන් පිටතට පැමිණි අගමැතිවරයා මාධ්‍ය හමුවේ ඉතා කෙටි ප්‍රකාශයක් සිදු කළේය. එහිදී අගමැතිවරයා සඳහන් කළේ කොමිසම හමුවේ සියල්ල පැහැදිලි කළ බවත් මෙරට පළමු වරට අගමැතිවරයෙකු ජනපති කොමිසමක් හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණි බවයි.

“හානිය ඒ සියල්ලම මට මෙතනදි පැහැදිලි කරන්න අවස්ථාව ලැබුණා. මම විශේෂයෙන්ම කියන්න කැමතියි පක්ෂයේ සභාපතිතුමත්, ලේකම්තුමත් ඇමැතිවරු කිසිම බයක් නැතිව ඉදිරිපත් වුණා. අපි යහපාලනය ඉදිරියට ගෙන යනවා. මෙතන හංගගන්න දෙයක් නෑ. වැරදි වන්න පුළුවන් අඩුපාඩු වෙන්න පුළුවන්. අපි යහපාලන රජය ඉදිරියට ගෙන යනවා“ යැයිද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

අගමැතිගේ සහයට එජාප මැති ඇමැතිවරු

මේ අතර අගමැතිවරයාගේ පැමිණීමත් සමග එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 32ක් ඇතුලු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් එම කොමිසමට පැමිණි බව වාර්තා වේ.

එම කොමිෂන් සභා පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර ඒ සඳහා පොලීසියට අමතරය පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබිණි.

එම කොමිසමේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුවද රිෂාඩ් බදියුදීන්, හරීන් ප්‍රනාන්දු ඇමැතිවරුන්ද ආංශු මාරසිංහ සහ හෙක්ටර් අප්පුහාමි යන එජාප මන්ත්‍රීවරුන්ද පැමිණි අතර එජාප පාක්ෂිකයින් සුළු පිරිසක්ද පැමිණ සිට ඇතැයිද වාර්තා වේ.

එම අවස්ථාව ආවරණය කිරීමට දෙස් - විදෙස් මාධ්‍යවේදීන් විශාල පිරිසක් පැමිණ තිබේ.

පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එකට එකතු කිරීමේ සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් පවතින බව ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි.

එම කණ්ඩායම් දෙක එකතු කිරීම සඳහා දෙපාර්ශ්වයම නිල නොවන මට්ටමින් සාකච්ඡා කරගෙන යන බවද වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයේදී දෙකට බෙදී තරග කළහොත් එමගින් දෙපාර්ශ්වයටම අවාසියක් සිදුවිය හැකි බැවින් අවම කොන්දේසි හෝ එකට එකතු වී මැතිවරණයට තරග කළ යුත බව සාකච්ඡාවලට නිල නොවන මට්ටමින් මැදිහත්ව සිටින දෙපාර්ශ්වයෙන්ම ජ්‍යෙෂ්ඨයින්ගේ අදහස වී තිබේ.

නිතරග ගිවිසුමක්?

කෙසේවෙතත් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ඒකාබද්ධ විපක්ෂයට එක්ව තරග කිරීමට නොහැකි වුවහොත්, දෙපාර්ශ්වය අතර නිතරග ගිවිසුමක් ඇති කර ගැනීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු හා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනකුද මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව එම ආරංචි මාර්ගවලින් පැවසේ.

පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය වෙන් වෙන්ව තරග කළහොත් එය අවාසියක් විය හැකි බැවින් දෙපාර්ශ්වය අතර මෙවැනි එකඟතාවක් හෝ ඇතිකර ගැනීම වාසිදායක බව ඔවුන්ගේ අදහස වී ඇතැයි දැන ගන්නට තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමය යටතේ පැවැත්වෙන අතර නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේදී මේ පිළිබඳ අවධානය යොමුකරමින් කටයුතු කිරීම වැදගත් බව ඔවුන් පෙන්වාදී ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

මේ අතර පළාත් පාලන ඡන්ද පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවෙක් සහභාගි නොවූ අතර දෙපිරිස එකතු කිරීම සම්බන්ධයෙන් කුමන පියවරක් ගන්නේද යන්න ගැන එහිදී සාකච්ඡාවී නැති බව ද වාර්තා වේ.

කලබල නොවී ජනාධිපති සමග සාකච්ඡාවට එන්න

ශ්‍රීලනිපයේ ජ්‍යෙඨයෙකු වන ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසූවේ විවිධ පුද්ගලයන් විසින් කරනු ලබන අසම්මත ප්‍රකාශ ගැන කලබල නොවී ඒකාබද්ධ විපක්ෂය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාව පැමිණියා නම් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවයි.

සුහදව කතා බහ කර ප්‍රශ්න තේරුම් ගෙන එකතු වීමට තිබූ අවස්ථාව මග හැරීම ගැන දැඩි කනස්සල්ලට හේතුවක් බවද හෙතෙම පෙන්වා දෙයි.

කොන්දේසි පිළිබඳව මෙම සාකච්ඡාවේදී යම් එකඟතාවයකට එළඹීමට හැකියාව තිබූ බවද ඔහු පැවසී ය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු වී තරග වැදීම පිළිබඳ සාකච්ඡාවට සහභාගි නොවී සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ලිපියක් යොමුකරමින් ඒකාබද්ධ විපක්ෂය එම තීරණය ප්‍රකාශ කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය මෙම තීරණ ගෙන ඇත්තේ ඊයේ (01) ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් සමඟ පැවැති ඒකාබද්ධ විපක්ෂ කමිටු රැස්වීමේදීය.

පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මෙම මස තුන්වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන්ට සහභාගි වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආරාධනා කර තිබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති ඒකාබද්ධ විපක්ෂ විශේෂ කමිටු රැස්වීමේදී, එජාපය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීගය පවතින තාක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකට එකතු නොවීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එජාපයෙන් ඉවත්ව පැමිණියහොත් පමණක් සාකච්ඡා කිරීමට එකඟ බවද මෙහිදී ප්‍රකාශ වී තිබේ.

ශ්‍රීලනිපයේ ඇමැතිවරු සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මේවන විට රහස් සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව නුගේගොඩ ජම්බුගස්මුල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ නිවසේදී පසුගිය දිනක පවත්වා ඇති මෙම සාකච්ඡාවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහභාගී වී ඇතැයි වාර්තා වේ.

එම සාකච්ඡාවේදී ඉදිරි මැතිවරණයේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව වැඩිවශයෙන් අවධානය යොමුව ඇතැයිද වාර්තා වන අතර ආණ්ඩුව නියෝජනය කරමින් මෙම සාකච්ඡාව සඳහා ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේම්ජයන්ත, ටී.බී.ඒකනායක, නිමල් සිරිපාල ද සිල්වා, නිමල් ලන්සා යන ඇමතිවරුන් එක්ව තිබෙන බවත්, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් සහ හිටපු පළාත් පාලන නියෝජිතයන් කිහිපදෙනෙකුද එක්ව ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සාකච්ඡාව අරඹා සුළු වේලාවකින් නිමල් සිරිපාල ද සිල්වා මහතා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වේ.

ආණ්ඩුවේ ඇමතිකම් ලබාගත් ශ්‍රීලනිප පාර්ශ්වය සමග ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී එක්ව තරග කළ හැකිද යන්නත්, එවැනි එකඟතාවකට එළැඹීමට හැකිවුවහොත් අපේක්ෂකත්වය ලබාදෙන ආකාරය සම්බන්ධවත් මෙහිදී සාකච්ඡා කර ඇතැයිද වාර්තා වේ.

2020දී ශ්‍රීලනිප ආණ්ඩුවක් 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී පක්ෂය දෙකඩ වීම වළක්වාගත නොහැකි බැවින් ඒකාබද්ධ විපක්ෂය සහ ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප පාර්ශ්වය එකඟතාවකට පැමිණිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්කර 2020දී ශ්‍රීලනිප ආණ්ඩුවක් කෙසේ හෝ පිහිටුවාගත යුතු බවත් මෙහිදී සාකච්ඡා කර තිබේ.

විවිධ හේතූන් මත කලකිරී සිටින එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහාය මේ සඳහා ලබාගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවත් මෙම වැඩපිළිවෙළ සාර්ථක වුවහොත් අග්‍රාමාත්‍ය ධුරයට චමල් රාජපක්ෂ මහතා සුදුසු වන බවත් මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීමට ඇමතිවරුන් පොරොන්දු වී ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග කිරීම සඳහා සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ලිඛිතව ආරාධනා කර තිබේ.

එම ආරාධනය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවහොත් ඔවුන් සියලුම දෙනා පක්‍ෂය හැරගියා සේ සැලකීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇතැයි එම පක්‍ෂයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා දිගු කළ මිත්‍රත්වයේ දැත හිටපු ජනාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු ප්‍රතික්‍ෂේප කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට විරුද්ධව කඳවුරු බඳින්නට තීරණය කරන්නේ නම් පක්‍ෂයක්‌ ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ගත හැකි වෙන විකල්පයක්‌ නැතැයිද ශ්‍රීලනිපයේ ප්‍රබලයෙකු සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සඳහන් කළේ තමන්ට තවමත් එවැනි ආරාධනාවක්‌ ලැබී නැති බවයි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක යන මහත්වරුන් ඇතුළු තවත් ආරක්‍ෂක අංශ ප්‍රධානීන් කීපදෙනකු ඉදිරි සති දෙක තුන ඇතුළත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වෙයි.

පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ, පොලිසියේ සහ බන්ධනාගාරයේ නිලධාරීන් කීපදෙනකුගෙන් මේ වන විට ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇති බවයි.

බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනකු ඝාතනය කළ බව කියන සිද්ධියට හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහතා කෙළින්ම සම්බන්ධ බවට හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් චෝදනා කර තිබිණි.

ඉකුත් 2012 වර්ෂයේ නොවැම්බර් 11 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ලක්‌ ඇති වූ අතර රැඳවියන් එල්ල කළ ප්‍රහාරවලින් එවකට සිටි පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා ඇතුළු පොලිස්‌ නිලධාරීහු කීපදෙනෙක්‌ තුවාල ලැබූහ.

සිල් රෙදි නඩුවෙන් වැරදිකරුවන් වී සිර ගත කරනු ලැබූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ අනූෂ පැල්පිට මහත්වරුන් වෙනුවෙන් අධිකරණයෙන් නියම කළ වන්දිය ගෙවීමට මැදිහත්වීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙයි.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ද, ඒකාබද්ධ විපක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයකුගෙන් රුපියල් පනස් දහසක් ද, පළාත් පාලන ආයතන සභිකයකුගෙන් රුපියල් 25000ක මුදලක් ද එකතු කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග කියයි.

පරිත්‍යාගශිලීන්ගෙන් ද ඒ සඳහා මුදල් ලබා ගැනීමට අපේක්ෂ කරන බව ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයෙක් පැවසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ සිල් රෙදි සිරකරුවන් නිදහස් කරගැනීමේ අරමුදල නමින් නව අරමුදලක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි.

දූෂණ වංචා, කොමිස් ගැහිලි නොකළ රජයේ කිසිම නිලධාරියකුට රුපියල් මිලියන 2ක හා රුපියල් මිලියන 50ක් තරම් මුදලක් ගෙවීමට බැරි බවත් ඒ දෙදෙනා කෙළේ රජයේ නියමයක් ඉටුකිරීම පමණක් බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

එම මුදල එකතු කිරීමේ ව්‍යාපාරයේ මූලිකත්වය ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි බන්ධුල ගුණවර්ධන මහතා රටේ සියලුම වෙහෙර විහාරස්ථානවල නායක හිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් බෞද්ධ ජනතාවගේ සහභාගිත්වය ඇතිව මේ මුදල එකතු කර දඩ හා වන්දි මුදල ගෙවීමට සූදානම් වෙයි.

මේ දෙදෙනාට අධිකරණයෙන් නියම කර ඇති දඩය හා වන්දිය රුපියල් මිලියන 104කි.

සිල් රෙදි ආපසු දෙන්න මවුවරුන් සූදානම්

සිල් රෙදි නඩු තීන්දුවේ දඩ මුදල ගෙවීම සඳහා රජයෙන් ලැබුණු සිල්රෙදි යළි ලබාදීමට මවුවරුන් සූදානම් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී දළදා මාලිගාවේදී හමුවූ මවක තමන් ද සිල් රෙද්දක් ලබාගත් බවත් නඩු මුදල ගෙවීම සඳහා එම රෙදි යළි ලබාදීමට සූදානම් බව ඇය ප්‍රකාශ කළ බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

සිල් රෙදි බෙදීම සිදුවුණේ මැතිවරණ සමයක නොවන බවත් එය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව සිදුකරන ලද්දක් බවත් රජයේ තීන්දු අනුව සිල් රෙදි බෙදීමත් වරදක් නම්, රාජ්‍ය සේවකයන්ට ගැටලු රැසක් මතුවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනා වැරදිකරුවන් බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(7) තීරණය කළේය.
ඒ අනුව හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට අවුරුදු තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර එක් වරදකරුවෙක් සඳහා රුපියල් ලක්ෂ 30 බැගින් වු දඩ මුදලක් ද මහාධිකරණය විසින් නියම කර ඇත.
එමෙන්ම දෙවන හා තුන්වන වරද සඳහා රුපියල් ලක්ෂ 50 බැඟින් ලක්ෂ 100 ක් වන්දි ලෙස ගෙවන ලෙස වරදකරුවන්ට මහාධිකරණ විසින් නියෝග කර තිබේ.
රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මඟින් මෙම නඩුව පවරා තිබේ.

එළඹෙන මැතිවරණයට ඒකාබද්ධ පොදු එකතුවක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරඟ වදින බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙනියාය ආසන බල මණ්ඩල රැස්වීමකට සහභාගී වෙමිනි.

පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කර තිබුණේ නම්, මන්ත්‍රීවරුන් 113 දෙනෙකු පත්කර ගැනීමට හැකියාව තිබුණු බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසී ය.

“මේ අය වැඩකරන්නෙ නැතිව අපේ පවුලට ඇඟිල්ල දිගු කරනවා. ඔක්කොම හිරේ දානවා කියනවා. අපේ පැත්තේ ඉන්නේ හොරුලු. නමුත් ආණ්ඩුවේ එක ඇමතිකෙනෙක් තවත් ඇමතිකෙනකුට හොරා කියනවා. නැව් ගත්තා කියනවා. වරායෙන් හොරා කෑවා කියනවා.ඒ කට්ටිය, ඒ කට්ටියටම බැණ ගන්නවා. අපේ ළඟ ඉඳලා ඒ පැත්තට ගිය අය තමයි මේ බැණගන්නේ. අපේ ගාව හිටිය හොරු ටික ඒ පැත්තට ගිහිල්ලා. ඒ නිසා අපි පිරිසුදු වෙලා තියෙනවා.හිර ගෙවලවල දැම්මත් හිරගෙවල්වල සිට අපි සටන මෙහෙයවනවා.“

“අපි ඒකාබද්ධව විපක්ෂයක් හදලා තියෙනවා. සියලු දේශපාලන පක්ෂ අපිත් එක්ක ඉන්නවා. ගියපාර අපි ශ්‍රී ලංකා එකෙන් ඉල්ලලා අපි පරාද වුණා. අපි රට වටේ ඇවිදලා වැඩකරගෙන යද්දී ලේකම් අස්කළා. අගමැතිකම දෙන්නෑ කිව්වා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එදා හදලා තිබුණා නම්, අපි එදා 113 ගන්නවා. නමුත් අපට ශ්‍රී ලංකා එක කඩන්න ඕන නැති හින්දා එකතු කරගෙන යන්න අපි මහන්සි ගත්තා. අන්තිමට පැරදුණු අයට ඇමතිකම් දීලා ඒ අයව යොදාගන්නවා අපට බණින්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අපේ සුභ පැතුම් පුදකරනවා. අපි ඒකාබද්ධව පොදු එකතුවකින් තමයි ඊළඟ මැතිවරණයට සූදානම් වෙන්නෙ“ යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන යටපත් කිරීම සඳහා තම පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

රග්බි ක‍්‍රිඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද(15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාතික පුවත්පතකට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ බැඳුම්කර වංචාව වසාගැනීමට මෙන්ම සමෘද්ධි සහනාධාරය කපා දැමීම හරහා ආණ්ඩුවට එල්ල වී ඇති ජනතා විවේචන වෙනත් අතකට යොමුකිරීම සඳහා ආණ්ඩුව නැවතත් රාජපක්ෂ පවුල ඉලක්ක කර ගනිමින් මර්දනය ආරම්භ කර ඇති බවයි.

සිය අත්වල ලේ ගෑවී නොමැති බවත්, කිසිවිටෙකත් සිය පවුල වංචා හෝ දූෂණ සිදු කර නොමැති බවත් බැඳුම්කර වංචාව වසාගැනීමටත්, බැඳුම්කර වංචාවෙන් රටට සිදු වූ පාඩුව වසා ගැනීමටත්, සමෘද්ධි සහනාධාරය කපා හැරීම නිසා එල්ල වූ ජනතා විරෝධය මගහරවාගැනීමටත් නැවතත් ආණ්ඩුව රාජපක්ෂවරුන් මර්දනය කිරීමට ආරම්භ කර තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සතියක් තුළ ප්‍රකාශ ලබාගැනීම සඳහා සිය පවුලේ තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවීමෙන් මේ බව පැහැදිලි වන බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

එසේම ආණ්ඩුවට දේශපාලනික වශයෙන් පළිගැනීමට අවශ්‍යනම් රාජපක්ෂ පවුලේ දේශපාලනය කළ පුද්ගලයන්ගේ පළිගන්නා ලෙසත්, දේශපාලනය නොකළ පුද්ගලයන්ගෙන් පළිගැනීම් නතර කරන ලෙසත් ඒ මහතා ප්‍රකාශ කරයි.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද අදහස් දක්වා ඇත.

“රාජපක්ෂවරුවන්ගේන් දේශපාලනික වශයෙන් පළිගැනීමට අවශ්‍ය නම් මගෙන් හා පියාගෙන් පළිගන්න. අපි ඒ සඳහා සූදානම්. නමුත් මගේ මව මෙන්ම මගේ සහෝදරයන් දෙදෙනා දේශපාලනයට සම්බන්ධ නෑ. ඔවුන්ගෙන් පළිගැනීම යහපාලනය නොවෙයි“

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ට්විටර් ගිණුමේ සටහන පහතින්,