March 29, 2024

සමයං කල්ලි, ආවා කල්ලි රටේ පාලනය අතට ගනී? - ඇමැති චම්පිකගෙන් රතු එළියක් 

පළාත් පොලීසි ඇතිකිරීමට ගියහොත් සමයංලා වගේ අය දහස් ගණනක්, යාපනේ කි‍්‍රයාත්මක ආවා කල්ලිය වගේ දහස් ගණනක් බිහිවන එක වැලැක්විය නොහැකි බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ රුපියල් මිලියන 25 ක වියදමින් හෝමාගම කුඩමාදුව මාර්ගය කාපට් අතුරා ප‍්‍රතිසංවර්ධනය කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පැවරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකට ඊයේ (03) සහභාගී වූ අවස්ථාවේදීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“පාතාල ලෝකයට වීරාභිවන්දනය නංවන්න සමහරු උත්සාහ කරනවා. ඒ වෙනුවට සාමකාමී ජනතාවගේ ජීවන ප‍්‍රාර්ථනා වෙනුවෙන් පාතාල ලෝකය අපි මර්ධනය කළ යුතුයි. කඩුවෙල ගල් ප‍්‍රශ්න නිසා 100 කට වැඩි පිරිසක් පාතාල ලෝකයෙන් ඝාතනය වෙලා තිබෙනවා. මීරිගම පස් ප‍්‍රශ්න ඒ වෙනුවෙන් 48 දෙනෙක් ඝාතනය කර තිබෙනවා. එදා තිබුණේ මත්කුඩු වලින් බිහි වූ පතාලයක් වුවත් අද වන විට එය පස්, කළුගල්, වැලි දක්වා ගිය පාතාල ලෝකයක් බිහි වී තිබෙනවා.

“උතුරේත් ත‍්‍රස්තවාදය පරාජය කළාට ආවා කල්ලිය ආදී වශයෙන් පාතාල කල්ලි ගණනාවක් බිහි වී තිබෙන බවත් පසුගියදා මඩකලපුවේ බස් රථයකදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ දෙදෙනෙක් ටී 56 ගිණි අවිත් සමග අහුවෙලා තිබෙනවා. මේ සියල්ල මගින් පෙනී යන්නේ රටේ සාමය හා නීතිය ආරක්‍ෂාව පිළිබඳව ප‍්‍රශ්න කරන කාලයක් මේ සමාජයේ සෑම තැනකින්ම නැවත මතුවෙලා තිබෙන බවද, සාමාකාමී පුරවැසියන් හැටියට අපට තිබෙන ජීවත්වීමේ අයිතිය අප බලාපොරොත්තු වෙන අතර තුවක්කු අරගෙන පාරේ යන වාහනවලට වෙඩි තියන සම්ප‍්‍රදාය නැතිකරලා දාන්න අවශ්‍ය බවයි. ඒවාට යම්කිසි දේශපාලන ශක්තියක් තිබෙනවා නම් එවැනි පුද්ගලයන් පාරාජය කරන්න මේ සමාජය ශක්තිමත් විය යුතුයි. අධිකරණයයි, පොලීසියයි, සමාජයයි කියන මේ මුල්ගල් තුනම රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට අවශ්‍යවනවා“ යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

“පොලීසියේ බලතල පළාත් සභාවට ලබාදිය යුතු බවට සමහරු යෝජනා කරනවා. එය ඉන්දියාවේ අනුග‍්‍රහයෙන් ගෙන ආ 13 වෙනි සංශෝධනයේ තිබෙන දෙයක්. මොකද අද ඉන්දියාවේ වෙලා තිබෙන්නේ, ප‍්‍රාන්ත 14 ක ත‍්‍රස්තවාදය කි‍්‍රයාත්මක වෙනවා. එම ත‍්‍රස්තවාදය මර්ධනය කිරීමට තිබෙන ප‍්‍රධාන බාධාව තමයි පොලීසියේ බලතල අදාල ප‍්‍රාන්තවලට ලබාදීම. මේ නිසා එම රටේ නිතීය හා සාමය වල් වැදෙන තත්වයක් උද්ගත වී තිබෙනවා. පොලීසියට පොලිස් කොමිසම හදලා ඒ බලතල පොලීසියට ලබාදුන්නේ ශක්තිමත්ව එම ක‍්‍රියාකාරිත්වය කරන්න. පළාත් පොලීසි ඇතිකිරීමට ගියහොත් සමයංලා වගේ අය දහස් ගණනක්, ඒ වගේ යාපනේ කි‍්‍රයාත්මක ආවා කල්ලිය වගේ දහස් ගණනක් බිහිවන එක වැලැක්විය නොහැකියි. මේ රට කැරළි ගණනාවකට මුහුණ දුන් රටක්, නාදුනන තුවක්කුකරුවෝ රටේ ජනගහනයෙන් 2% 3% ක් ඝාතනය කළ රටක්, මහපාරේ බෝම්බ පුපුරලා දහස් ගණනක් ඝාතනය වූ රටක්, රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආයෝජන ලබන කල්ලි කණ්ඩායම් කී පමණින් ඒ අයගේ ඒජනත්යෝ හඬ නැගූ පමණින් මේ රටේ පොලිස් බලය ඒ අයුරින් බෙදාහැරීමේ හැකියාවක් ප‍්‍රායෝගිකව අපට නැහැ.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Last modified on Saturday, 04 March 2017 11:14