April 26, 2024

මම අගමැතිවරයාවත් අස් කළා මට විශ්වාසයක් නැති නිසා - හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

November 25, 2020

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ  හත්වන දිනටත් සාක්ෂි ලබාදෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිළි කළේ,රාජ්‍ය පාලනය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ගැසට් නිවේදන වැනි නෛතික ලියවිළිවල කුමක් සඳහන් වුවද, ප්‍රයෝගිකව ඇතිවන ගැටළුවලදී ජනාධිපතිවරයාට සිය අභිමතය නෛතික රාමුවට පරිභාහිරව කටයුතු කළ හැකිබවයි 

මේ අතර හිටපු ජනාධිපතිවරයා වෙත හරස් ප්‍රශ්න යොමු කිරීමට පෙර අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජ්‍ය කරන ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 ජුනි මස 17 වන දින “බී.බී.සි සිංහල“ සේවයට ලබාදී ඇති සම්මුඛ සාකච්ඡාව ජනාධිපති කොමිසම හමුවේ වාදනය කිරීම අවසර ඉල්ලා සිටියේය.

පසුව අදාළ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා, "හිටපු ජනාධිපතිතුමනි, මෙම පාස්කු ප්‍රහාරය එල්ල වෙද්දි හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම කොමිසම හමුවේ සාක්ෂි දී තිබෙනවා ප්‍රහාරයේ වගකීම සාමුහිකව භාරගන්න ඕනේ කියලා. ඔබ සුදානම් නැද්ද එහෙම සාමුහිකව වගකීම භාරගන්න" යනුවෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, "එහෙම පුළුවන්කමක් නැහැ ස්වාමිනි," යන්න ය.

"ඔබ මෙම සම්මුඛ සාකච්ඡාවේ සඳහන් කරලා තියෙනවා ඔබ සුදානම් නැහැ මේ ප්‍රහාරයෙන් අගතියට පත්වුණ පාර්ශ්ව වෙනුවෙන් කණගාටුව පළ කරන්න කියලා. මම යෝජනා කරනවා මා නියෝජනය කරන කතෝලික ජනතාව වෙනුවෙන් ඔබ කණගාටුව පළ කරන්න ඕනේ කියලා," යැයි ජනාධිපති නීතිඥවරයා යෝජනා කර සිටියේය.

"මේ සිදුවීම සම්බන්ධයෙන් මම අවස්ථා රැසකදී කණගාටුව පළ කරලා තියෙනවා ස්වාමිනි. කාදිනල් හිමිපාණන් කියන්නේ මගේ පාලන කාලයේදී මම ඉතා මිත්‍රශීලිව ඇසුරු කළ කෙනෙක්. මම කතෝලික ජනතාව වෙනුවෙන් ලොකු සේවයක් කරලා තියෙනවා. නමුත් මේ සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ වුණ මාධ්‍යවේදියා සමග මම බහින් බස්වීමක් වුණා උසාවියක වගේ මගෙන් ප්‍රශ්න අහනවා කියලා. මම ඔහුට කිව්වා මේ සම්මුඛ සාකච්ඡාව දාන්නත් එපා කියලා. නමුත් ඔවුන් මේක සම්පූර්ණයෙන්ම සංස්කරණය කරලා දාලා තියෙන්නේ. මම කියපු වැදගත් කරුණු කිසිවක් මෙහි නැහැ," යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය."මහජන ආරක්ෂක පණතේ 5 වගන්තිය ප්‍රකාරව ජාතික ආරක්ෂක කවුන්සිලය සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පැහැදිළිව සඳහන් වෙනවා. ජාතික ආරක්ෂක කවුන්සලයට එහි නිත්‍ය සමාජිකයින් අනිවාර්යයෙන්ම කැඳවිය යුතුයි කියලා. එහෙම තියෙද්දිත් ඔබතුමා ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සමාජිකයෙකු වන පොලිස්පතිවරයා 2018 ඔක්තෝබර් මාසයෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සිලයට නොකැඳවීම නීතියේ විධිවිධානවලට පටහැනිව සිදුකළ ක්‍රියාවක් නේදැයි," ජනාධිපති නීතිඥවරයා එහිදී විමසීමක් කළේය.

"ගැසට් නිවේදනවල සහ නීතිපොත්වල එහෙම තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රයෝගිකව මට ප්‍රශ්නයක් ඇති වුණාම මට විශ්වාසවන්ත නැත්නම් මම කැඳවන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි විශ්වාසවන්ත කෙනෙක් ගෙන්වා ගන්න පුළුවන්. ඒකයි මම එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවුවේ," යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.

"හරි එහෙනම් ඔබතුමා මට පෙන්වන්න ඔය කිව්ව විදිහේ අභිමතයක් ජනාධිපතිවරයාට ගැසට් නිවේදනයේ කොහෙන්ද ලබාදීලා තියෙන්නේ කියාලා," යැයි ජනාධිපති නීතිඥවරයා පෙරළා ප්‍රශ්න කළේය.

"ගැසට් නිවේදනයේ නැති වෙන්න පුළුවන්. හැබැයි මට විශ්වාසයක් නැත්තම් මම කැඳවන්නේ නැහැ. පොලිස්පතිවරයා නෙමේ, මම අගමැතිවරයාවත් අස් කළා මට විශ්වාසයක් නැති නිසා. අගමැතිවරයා විතරකුත් නෙමේ, මම කැබිනට් මණ්ඩලයත් මාරු කළා මට විශ්වාස නැති නිසා," යැයි හිටපු ජනාධිපතිවරයා එවර කියා සිටියේය.

Last modified on Wednesday, 25 November 2020 06:10