April 25, 2024

ලෙයින් තෙත්වන ඊශ්‍රායල් - පලස්තීන අර්බුධය

ඊශ්‍රායල – පලස්තීන අර්බුදය සෑහෙන අතීතයක සිට එන අර්බුධයක් . මේ සම්බන්ධව විමසා බලන විට  ‘පොරොන්දු දේශය’ යන්න පිළිබඳවත් දළ අවබෝධයක් තිබීම වැදගත්. ඒ, යුදෙව් ජනයා යුරෝපයේ සිට වත්මන් ඊශ්‍රායලය ලෙස හැඳින්වෙන බිමට සංක්‍රමණය වන්නේ මෙකි පොරොන්දු දේශය පිළිබඳ විශ්වාස කරමින් වීම නිසා යි.

පොරොන්දු දේශය (Promised Land) පිළිබඳව සඳහන් වන්නේ බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ . එය කානාන් (Canaan) ලෙස නම් කර තිබෙනවා. මැවුම්කාර දෙවියන් විසින් ආදී පීතෘ ඒබ්‍රහම්ට සහ ඔහුගේ දරුමුණුබුරන්ට පොරොන්දු වී, පසුව මිසරයන්ගේ වහලුන්ව සිටි මෝසස් ඇතුළු ඊශ්‍රායල වාර්ගිකයන් හට සදාකාලික උරුමයත් සමඟ පවරා දුන්, යස ඉසුරු පිරි දේශය’ පොරොන්දු දේශය ලෙස හැඳින්වෙනවා.

ඊශ්‍රායල වාර්ගිකයන් යනු ආදී පීතෘ ඒබ්‍රහම්ගේ මුණුපුරෙකු වන යාකොබ්ගේ පුතුන් 12 දෙනාගෙන් පැවත එන්නන්. මැවුම්කාර දෙවියන් යාකොබ් ඉදිරියේ දර්ශනය වී ඔහුට ආශිර්වාද කර ‘ඊශ්‍රායල්’ යන නම ඔහුට තැබූ බව පැරණි තෙස්තමේන්තුවේ උප්පත්ති කතාවේ සඳහන් වනවා. සම්ප්‍රදායිකව, වත්මන් යුදෙව් ජනයා ලෙස විශ්වාස කරන්නේ මෙලෙස පොරොන්දු දේශය වෙත ලඟා වූ ඊශ්‍රායල වාර්ගික ජනයාගෙන් පැවත එන්නන්.

මෙම ඊශ්‍රායල් වාර්ගිකයන් එවකට කානාන් දේශයේ කොටසක ජීවත් වූ පිලිස්තිනුවන් (පලස්තීන ජාතිකයන්) පරාජය කළ බවත් එහි සඳහන්. වසර 4000 ක පමන ඉතිහාසයක් තිබෙන මේ කතාව නැවත බයිබලයේ සදහන් වන ආකාරයටම  පුනුරුප්පත්තිය වනවා 1948 දී .

වසර දහසකට පමණ පසු යුරෝපයේ දී විඳින්නට වුණ කරදර හිරිහැර නිසා තමන්ටම කියා ස්වාධීන රාජ්‍යයක් තිබිය යුතුය යන සිතුවිල්ලෙන් යුදෙව්වන් මැද පෙරදිග ඔටෝමන් පාලනයට යටත්ව තිබී, පසුව බ්‍රිතාන්‍ය පාලනයට නතුව තිබූ ‘බ්‍රිතාන්‍ය පලස්තීනය’ට (British Palestine/Mandetory Palestine) සංක්‍රමණය වන්නේ 1896 – 1948 දක්වා වූ කාලය තුළදී යි. මොවුන්ගෙන් අති බහුතරය දෙවන ලෝක යුධ සමයේ යුදෙව් සංහාරයෙන් පසුව අනාථයන් ලෙසින් පැමිණි අයයි.

එම භූමියේ ඒ වන විට විසූ අරාබි ජාතිකයන් මෙයට කැමැත්තක් දැක්වූයේ නැහැ. යුදෙව්වන් විශාල වශයෙන් එහි පදිංචි වීම ඔවුන් දුටුවේ බ්‍රිතාන්‍ය කොළණි බිහිකිරීමට ගන්නා උත්සාහයක් ලෙසයි. ඒ නිසා බ්‍රිතාන්‍යයන්ට පවා පාලනය කළ නොහැකි තරමටම දෙපාර්ශවය අතර බිහිසුණු ගැටුම් ඇතිවුණා. අවසානයේ දී 1947 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බ්‍රිතාන්‍ය පලස්තීන භූමිය වෙන්කර  කොටසක් යුදෙව්වන්ට සහ කොටසක් අරාබි ජාතිකයන්ට ලෙස නම් කළා. .ඊශ්‍රායල – පලස්තීන දෙපිරිසම අර්බුදයට තුඩු දී ඇති භූමියට තමන්ගේ ඓතිහාසික උරුමයක් ඇතැයි ඇදහීම තත්ත්වය වඩාත් ව්‍යාකූල කිරීමට හේතුවක් වුනා.

ක්‍රි.ව 1948 ඊශ්‍රායලය ප්‍රකාශයට පත් වූ දා පටන්ම අසල්වැසියන් සමඟ යම් යම් මත ගැටුම් තිබුණා. ඒ තදාසන්නවම අනෙකුත් අසල්වැසි අරාබි රටවල් ඊශ්‍රායලය ආක්‍රමණය කර යටත් කර ගැනීමට උත්සාහ දැරුවත් ඒ කිසිවක් සාර්ථක කර ගැනීමට ඔවුනට නොහැකි වුණා. ඉන් පසු කීප විටකම එම අසල්වාසී රටවල්, විශේෂයෙන්ම සිරියාව සමග ඊශ්‍රායලය යම් යම් ආරෝවන් සාදාගත්තා. 1956 වසරේ ඇතිවුනු සූවස් අර්භුධයේදී   ඔවුන් ඊජිප්තුව සමඟ තිබූ එදිරිවාදීකම්  තවත් දැඩි කරගත්තා. අනෙක් අතින් 1948 දී ඊශ්‍රායලය ප්‍රකාශයට පත් කරන විට පලස්තීන ජාතිකයින් 750000 ක් පමණ ඊශ්‍රායල භූමියෙන් පිටුවහල් කරන ලද අතර ඔවුන්ට සරණාගතයින් ලෙස තදාසන්න අරාබි රටවල් වල ලැගුම් ගැනීමට සිදු වුණා. ඔවුනුත් සිටියේ ඊශ්‍රායලය සමඟ විරසකවයි. ක්‍රි.ව 1960 වන විට යුදෙව් රාජ්‍යයක් වූ ඊශ්‍රායලය අනෙකුත් අරාබි රාජ්‍යයන් සමඟ සීතල යුද්ධයක පැටලී සිටියා.

1960 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ හමුවේදී එවක ඊශ්‍රායල විදේශ ඇමතිණී ගෝල්ඩා මයර් ප්‍රකාශ කළේ අගමැති වන ඩේව්ඩ් බෙන් ගූරියන් අනෙකුත් අරාබි රටවල් සමඟ සාම සාකච්ඡා කිරීමට සූදානම් බවයි. එහෙත් දින කිහිපයක් තුළ ප්‍රකාශයක් නිකුත් කරන එවකට ඊජිප්තු ජනපති ගමාල් අබ්දුල් නසාර් ඊශ්‍රායලය විසින් ලෝකයා රැවටීමට උත්සාහ දරන බවත්, තමන් කිසිවිටෙක යුදෙව් දේශය පිළි නොගන්නා බවත් ප්‍රකාශ කරනවා.

ඊශ්‍රායලය නිසා වැඩිම අපහසුතාවයකට ලක් වී සිටියේ පලස්තීන ජාතිකයිනුයි. මේ තත්වය ප්‍රයෝජනයට ගන්නා අරාබි ලීගය සිය ප්‍රතිපාදන සපයමින් පලස්තීන විමුක්ති සංවිධානය නම් කණ්ඩායමක් තනනවා. මෙහි සභාපති ලෙස තෝරා පත් කරගන්නේ පසු කලෙක පලස්තීනයේ නායකයා වූ යසර් අර්පත් .   1965 වන විට ඔවුන් ඊශ්‍රායලයට එරෙහිව සටන් ආරම්භ කරනු ලබනවා. සන්නද්ධ බලය සපයා සාමාන්‍ය ජනතාවට පහර දීමට පුහුණු කර සිටි පලස්තීන විමුක්ති සංව්ධානයේ සාමාජිකයින් 1965 වසරේ පහරදීම් 35ක් ද, 1966 වසරේ පහරදීම් 41 ක් ද සිදු කරනවා. මේ සියල්ලම පාහේ ඊශ්‍රායලයේ අහිංසක සාමාන්‍ය ජනතාව ඉළක්ක කරගෙන ක්‍රියාත්මක වූ ඒවා වන අතර ඉන් නොනැවතුණු ඔවුන් 1967 වසරේ පළමු මාස 4 තුළ පමණක් තවත් පහරදීම් 37 ක්ම සිදු කරන්නේ ඊශ්‍රායලයට හානි පමුණුවමින්.

මේ කාලය වන විට ඊශ්‍රායලය සමඟ යම් කිසි හෝ මිත්‍රකමක් තිබූ එකම මැද පෙරදිග රාජ්‍යය වූයේ ජෝර්දානයයි. එහි පාලකයා වූ හුසේන් රජුට ඊශ්‍රායලය කෙරෙහි විශේෂ මිත්‍රකමක් නොතිබුණත් අනෙකුත් අරාබි රටවල් මෙන් ඔහුට එය පෙරළීමට විශේෂ උවමනාවක් තිබුණේ නැහැ. ඊජිප්තු නායක ගමාල් අබ්දුල් නසාර්ට හුසේන් රජුගේ පාලනය පෙරළා දැමීමට උවමනාවක් තිබුණා. ඔහු පලස්තීන විමුක්ති සංවිධානයට ප්‍රතිපාදන සැපයූවේ එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකුම මරා ගැනීමේ අභිලාෂයෙන් හෙවත් ඊශ්‍රායලයට පහරදී ඉන් අනතුරුව හුසේන් රජුගේ පාලනයත් අහවර කරන අටියෙනුයි. මෙය ඉක්මණින්ම වටහා ගන්නා හුසේන් රජු ජෝර්දානයේ පිහිටි පලස්තීන විමුක්ති සංවිධානයට අයත් කාර්යයාල වටලා එහි සාමාජිකයන් රැසක් අත් අඩංගුවට ගන්නවා . ඊශ්‍රායලයට එල්ල කල ප්‍රහාර සැලකිය යුතු ප්‍රමාණයක් හෞමික වශයෙන් එහි ළඟා වීමට පහසුම භූමිය වන ජෝර්දානයේ සිට සැලසුම් කර දියත් කර තිබුණු අතර මේ නිසා එම සංවිධානයේ ක්‍රියාකාරීත්වය මදකට අඩපණ වෙනවා.

 මේ අතර සිරියාව විසින් ඊශ්‍රායලය සිය ජාතික ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට ජෝර්දාන ගංගාව හසු වෙන පරිදි ඉදි කරන ලද ජල ප්‍රවාහන හා බෙදා හැරීමේ පද්ධතියට  එරෙහි වීම නිසා තත්ත්වය වඩා බැරෑරුම් වුණා. ක්‍රි. ව 1965 හා 1966 වසර වල සිරියානු හමුදාව ගෝලාන් උස්බිම්  වල සිට ඊශ්‍රායලයට දිගට හරහට පහර දෙන්නට පටන්ගත්තා. ඊශායලය මෙයට එරෙහිව උද්ඝෝෂණ කිරීම හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දීම සිදු කළත් ඔවුන් මේ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. මේ අතර ඊජිප්තු නායක ගමාල් අබ්දුල් නසාරුත් ‘පලස්තීනුවන් ඔවුන්ගේ භූමිය ජයගත යුත්තේ එය රුධිරයෙන් සෝදා’ බව ප්‍රකාශ කරනවා.

 1948 යුද්ධයෙන් පසු ඊශ්‍රායලය තම පැවැත්ම ශක්තිමත් කර ගැනීම සඳහා නිමක් නැතිව වෙහෙසෙන්නට පටන් ගත්තේය. දශලක්ෂයකට අධික සංක්‍රමණිකයන් පිරිසකට දොරටු විවර කළා. හමුදාවට සේවය කිරීම තුළින් ඔවුන් ඊශ්‍රායල් ජාතියට එක්විය. මේ වන විට ඊශ්‍රායලය, අතිශය ප්‍රබල හමුදාවක් කඩිනමින් ගොඩනගමින් සිටියා. 1967 වනවිට ඔවුන් තමන්ගේම න්‍යෂ්ඨික අවි ආයුධවලින් සන්නද්ධ හමුදාවක් සහිත රාජ්‍යයක් බවට පත්වීමේ සන්ධිස්ථානයේ ආසන්නයට ම පැමිණ සිටියා. එවකට ඊශායාලයේ හමුදාපතිවරයාව සිටියේ යිට්ස්හාක් රබීන්. සිරියාවෙන් කෙරෙන කෙණෙහිලිකම් දිගටම ඉවසා සිටි ඊශ්‍රායලය අවසානයේ  දැඩි තීරණයක් ගන්නවා. 1967 අප්‍රෙල් 7 වනදා  ප්‍රහාර එල්ල කිරීමට පැමිණි සිරියානු ගුවන්යානා 6 ක් ඔවුන් විසින් වෙඩි තබා බිම හෙලනවා. මේ වන විට  ඊශ්‍රායලයේ සෑම පුරුෂයෙකුටම හමුදා සේවය අනිවාර්ය කොට තිබුනා . ඒ වන විට වයස අවුරුදු පනහට අඩු සෑම පිරිමියෙකුම පාහේ හමුදා ඇඳුමින් සැරසී සිටිනු දක්නට හැකි වුනා. 

මුල් අවස්ථාවේදී ඊශ්‍රායල් හමුදාව දරැණු පරාජයන් වලට මුහුණ දුන්නා . නමුත් යුද විශ්ලේශකයින් පවසන පරිදි  ඔවුන් ඇමරිකාවේ පූර්ණ සහයෝගය සහිතව දින හයක් වැනි කෙටි කාලයක් ඇතුලත මෙම යුද්ධයෙන් ජයග්‍රහකය කරනු ලබනවා. රටවල් 06 කට එරෙහිව සිදු කළ මෙම මෙහෙයුම දින 06 යුද්ධය ලෙස ඉතිහාස ගත වනවා . මෙම යුදුධයෙන් පසු ඊශායලය ගාසා තීරයත් , සීනායි කතරත් නැගෙනහිර ජෙරුසෙලමත් අත්පත් කර ගැනීමට සමත් වුනා.  1967 සිදුකළ 'දින හයේ යුද්ධයෙන්' ඊශ්‍රායලය අත්පත් කර ගත් පලස්තීන ප්‍රදේශවල ජනාවාස තැනීම, අඩසියවසකට පසු අදත් සිදුවෙමින් පවතිනවා. එම යුද්ධයෙන් අරාබිය ලත් අන්ත පරාජය පලස්තීන ජාතික ව්‍යාපාරයේ ආරම්භයට ලබා දුන්නේ නව ජවයක්. ඊට පෙර පලස්තීන විමුක්ති සංවිධානය පැවතියේ ඊජිප්තු ජනාධිපතිවරයාගේ රූකඩයක් ලෙසින්.1967න් පසු යසර් අර්ෆත් සහ ෆටා සංවිධානයෙන් බිඳී ආ පාර්ශ්වය එක්වී  පලස්තීන ප්‍රශ්නය තමන්ගේම දෑතට ගනු ලබනවා . ඊශ්‍රායලය අත්පත් කරගත් පෙදෙස්වලට පැන 'පහර දී පලායන' ගරිල්ලා සටන් කලාව නැවත හිස ඔසවන්නට වුනා. 1970 දී පලස්තීන ගරිල්ලන්ට එරෙහිව ඊශ්‍රායලය දියත් කළ මෙහෙයුම දරුණු විය. එය වීදි සටන් දක්වා පැතිරිණි. ඊශ්‍රායලයට සොල්දාදුවන් තිස්දෙනෙක් පමණ අහිමි විය.නමුත් පලස්තීනුවන්ට සිදු වූ හානිය අති මහත් ය. ෆටා සටන්කාමීන් සියයක් පමණ ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් ජාතික වීරයන් සේ සළකමින් මිහිදන් කෙරුණි.ඒ යසර් අර්ෆත් ගේ පිබිදීමයි.එම සිද්ධියත් සමඟ යසර් අර්ෆත් 'ජාත්‍යන්තර චරිතයක්' බවට පත්වූයේ පලස්තීන විමුක්ති සංවිධානයේ නායකයා බවට පත්වෙමිනි. පලස්තීනුවන්ගේ විමුක්ති අරගලයේ සංකේතය බවට පත් වූ යසර් අර්ෆත්, නමුත්  ඊශ්‍රායලයට  ඔහු 'ලොව දරුණුම ත්‍රස්තවාදියා' විය.

දින හයේ යුද්ධය' මෙහෙය වූ එවක ඊශ්‍රායල් හමුදාපති ජෙනරාල් යිට්ස්හාක් රබින්, 70 දශකයේ මැද භාගය වනවිට රටේ අගමැතිවරයා බවට පත්විය . පළමු ධූර කාලයෙන් පසු ඔහු නැවතත් 1992 දී ඊශ්‍රායලයේ අගමැති ධුරයට තේරී පත්වුණි.1993 දී ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ආශීර්වාදය යටතේ ධවල මන්දිරය ඉදිරිපිට තෘණ භූමිය මත දී අගමැති රබින්, සිය පැරණි සතුරා වූ යසර් අර්ෆත් ට 'අතට අත' දුන්නේය. නමුත් මෙය ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික ජාතිකවාදීන්ට ශුභාරංචියක් නොවීය. ඔවුන්ගේ අදහස වූයේ 'දෙවියන් විසින් තමන්ට ලබා දුන්' භූමියේ පැවැත්මට මෙය අනතුරුදායක බවය.කෙසේ නමුත් පලස්තීනුවන් සමඟ ඇතිකරගත් ලෝක ප්‍රකට 'ඔස්ලෝ සාම ගිවිසුමට' අත්සන් තැබූ අගමැති රබින් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය. එය ඔහුගේ ඉරණම වෙනස් කරන්නට තරම් ප්‍රබල විය. 1995 දී ටෙල් අවිව් නුවරදී, අන්ත ජාතිකවාදී යුදෙව්වෙකුගේ වෙඩි පහරට ලක්වී අගමැති යිට්ස්හාක් රබින් අවසන් ගමන් ගියේය. වෙඩි තැබූ පුද්ගලයා කියා සිටියේ 'යුදෙව්වන් පාවාදුන් නිසා' ඔහුට වෙඩි තැබූ බවයි.කෙසේවුවද, ජෙරුසලම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ආධිපත්‍යය ජාත්‍යාන්තරය නොපිළිගත් අතර, තම තානාපති කාර්යාල ටෙල් අවිව් නගරයේ පවත්වාගෙන ගියේය.නැගෙනහිර ජෙරුසලමේ වාසය කරන දෙලක්ෂයක් පමණවන යුදෙව් ජාතිකයන් පිරිසක් විසය කරනු ලබන අතර වරින් වර ගාසා තීරයේත් නැගෙනහිර ජෙරුසෙලමේත් සටන් හට ගැනීම සාමාන්‍ය අංගයක් විය . මෑතක දී යුද්ධය වඩාත් දරුණු අතට හැරුනේ රාමදාන් ආරම්භ කරනු ලැබූ අප්‍රේල් මස පලස්තීනයේ පිරිසක් සහ ඊශ්‍රායල පොලීසිය අතර ඇතිවුනු ගැටුමක් දුර දිග යාමෙනි .

Rate this item
(2 votes)
Last modified on Friday, 14 May 2021 11:58