April 27, 2024

ඇන්ටිජන් කට්ටල ඉවරයි! කවුරුත් දන්නැති සැබෑ රෝගීන් ගණන අභිරහසක්! Featured

ආසාදිතයින් තවත් ඉහළට

මෙරටින් දෛනිකව හමුවන කොවිඩ් 19 ආසාදිතයින් ගණන දිනෙන් දින ඉහළ යමින් පවතින බව පසුගිය දින කිහිපය පුරාම අප ඔබට අනාවරණය කළා.

එය තවදුරටත් ඉහළ යමින් පවතින බව සනාථ කරමින් ගෙවුණු පැය 24 තුළ පමණක් ආසාදිතයින් බවට අලුතින් හඳුණාගෙන ඇති පිරිස 927ක් බව සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙනවා.

හඳුණා ගන්නා ආසාදිතයින් ගණන මේ අයුරින් දිනෙන් දින ඉහළ අගයක් කරා යොමු වෙද්දී සමාජය තුළ හඳුණා නොගත් ආසාදිතයින් ද සැළකිය යුතු ප්‍රමාණයක් සිටින බවට යි සෞඛ්‍ය අංශ බිය පළ කරන්නේ.

කියවන්න: "ජනතාවගෙන් වැඩි පිරිසක් මියයාවි" - වෛද්‍ය අනාවැකි මැද රෝහල් තුනක් පිරී ඉතිරී යයි

දත්ත සහ ඇත්ත

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී. විජේසූරිය මහතා ද සඳහන් කළේ ඇත්ත රෝගීන් ගණන, දත්තවලින් පෙනෙන රෝගීන් ගණනට වඩා වැඩි බව යි.

මීට පෙර රෝගීන් හඹාගෙන ගොස් පරීක්ෂණ සිදු කළ නමුත් මේවන විට සිදු කෙරෙන්නේ රෝග ලක්ෂණ ඇත්තන්, සැක සහිත තැනැත්තන් සහ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පරීක්ෂා කිරීම පමණක් වන බව ද විජේසූරිය මහතා පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් සමාජය තුළ හඳුණා නොගත් රෝගීන් බොහෝ  සෙයින් සිටින බව යි ඔහු අවධාරණය කළේ.

ඇන්ටිජන් කට්ටල නෑ

කොවිඩ් පරීක්ෂණ කටයුතුවල අඩුවක් සිදුව ඇති බවට සෞඛ්‍ය සේවයේ ඉහළම නිලධාරියෙකු එලෙස අනාවරණය කරන පසුබිමක නව කොවිඩ් ආසාදිතයින් හඳුණා ගැනීම සඳහා භාවිත කෙරෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල දීපව්‍යාප්ත හිඟයක් පවතින බව ඒෂියන් මිරර් වෙත වාර්තාවනවා.

කොළඹ ජාතික රෝහල ඇතුළු මෙරට ප්‍රධාන රෝහල් රැසක් මෙම තත්ත්වයට මුහුණ පා ඇති බව සඳහන්.

ජාතික රෝහලෙහි අධ්‍යක්ෂවරයාවන වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ද තහවුරු කළේ ඇන්ටිජන් කට්ටල හිඟයක් පවතින බව යි.

එමෙන්ම රාගම ශික්ෂණ රෝහල සතුව තිබූ ඇන්ටිජන් කට්ටල සියල්ලම ඊයේ (26) දිනයවන විට අවසන් වී ඇති බව ද අප වෙත වාර්තා වෙනවා.

එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ පරීක්ෂණ කට්ටල අවසන් වී ඇති බවට රෝහලෙහි වෛද්‍ය සැපයුම් අංශය ද දැනුවත් බව යි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසන්නේ සති දෙකක කාලයක් සඳහා ඇන්ටිජන් කට්ටල 5,000ක් අවැසි බවට රාගම රෝහල ඉල්ලීම් කර ඇති බව යි.

එවන් මොහොතක එම රෝහලට ලැබී ඇත්තේ කට්ටල 1,500ක් පමණක් බවත්, එම ප්‍රමාණය මේවන විටත් අවසන් වී ඇති බවත් අදාළ සංගමය ද තහවුරු කරනු ලැබුවා.

ඒ අනුව ඉදිරි සති දෙකක කාලයට රාගම රෝහලෙහි ඇන්ටිජන් කට්ටල නොමැති බව ද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පෙන්වා දුන්නා.

එමෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය මේවන විට එන්න එන්නම හිස ඔසවමින් පවතින බවත්, එලෙස වසංගතය යළි වර්ධනය වෙමින් පවතින මොහොතක මෙලෙස ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රෝහල් තුළ නොමැති වීම ඉතා බරපතල තත්ත්වයක් බව එම සංගමය අවධාරණය කළා.

හිඟයට හේතුව

මේ අතර රෝහල්වල රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල හිඟයට බලපා ඇති හේතුව පිළිබඳව ද අප වෙත වාර්තා වූවා.

රට තුළ ඇති ඩොලර් හිඟය මෙය පිටුපස ද පවතින බව සඳහන්.

එමෙන්ම ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලක්ෂ 07ක් පමණ ඇණවුම් කොට ඇති බවයි වැඩිදුරටත් වාර්තා වූයේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 27 January 2022 11:49