April 26, 2024

ජනපති සුසිල්ට දොස් කියද්දී විමල් - උදය - වාසු කළ දේ

ජනපතිවරයා විසින් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාව මේ වන විට රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කර තිබෙනවා.

ඒ ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීම මුල් කොටගෙන.

කැබිනට්ටුවේ සිදුවීම

සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඊයේ (3) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනපතිවරයා ආවේගයෙන් කතා කළ බවයි වාර්තා වන්නේ.

එම සිද්ධිය ඇති වූ කැබිනට් මණ්ඩල රැස්වීමට ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන කැබිනට් මණ්ඩල ඇමතිවරුන් වන විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන්ද සහභාගි වී සිටි බවයි දැනගන්නට තිබෙන්නේ.

ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව යන ගමන් මග නිවැරදි කර ගැනීම තම අරමුණ බව මෙම ඇමතිවරුන් තිදෙනා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළද මෙම සිද්ධිය ඇති වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී නිහඬවම බලා සිටි බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සාමූහික වගකීම

මේ තිදෙනා ද කැබිනට් මණ්ඩල සාමූහික වගකීම කඩ කර ඇති බැවින් වඩාත් සුදුසුම දේ ඔවුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වීම බව ජනපතිවරයා ඉකුත් සතියේ මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ සඳහන් කර තිබුණා.

ඇමතිවරුන් තිදෙනා වෙනුවෙන් ජනපතිවරයාට ප්‍රතිචාර දක්වමින් ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ තමන් ඇමති ධුරවලින් ඉවත් නොවන බවත් ජනපතිවරයාට අවශ්‍ය නම් තමන්ව ඇමති ධුරවලින් ඉවත් කරන ලෙසටයි.

ඒ සඳහා තමන්ට බලතල තිබෙන බව ජනපතිවරයා දන්නා බවත් ගම්මන්පිල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

ජනපතිවරයා සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරමින් විශේෂෙන්ම අනතුරු ඇඟවීමක් කළේ මේ ඇමතිවරුන් තිදෙනාට බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 04 January 2022 11:55