May 04, 2024

"මේක ආණ්ඩුවේ උගුලක්" - ආණ්ඩුව දුන් සහන මල්ල ගැන ජනතාවගෙන් රසකතා ගොඩක්

සහන පැකේජය ගැන ජනතා ප්‍රතිචාර 

රාජ්‍ය සේවකයන්ට, විශ්‍රාමිකයන්ට, ආබාධිත රණවිරුවන්ට සහ වතුකරයේ ජනතාව ඇතුළු තවත් පාර්ශව කිහිපයකට සහන ලබා දීමට රජය තීරණය කළා.

රජය ගත් තීරණය සම්බන්ධයෙන් ජනතාව මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා.

"කාලෙකින්නේ. සතුටුයි. සතුටුයි."

"ආණ්ඩුවේ උගුලක් වෙන්න ඇති ඕක. එක පාරට මොකක්ද ආපු ගින්න කියන එක ගැන අපිට කුතුහලයක් තියෙනවා."

"හොඳයි වැඩි කරලා තියෙන එක දැන්."

"රජය ගැන ලොකු කලකිරීමක් තියෙනවා. මම හිතන්නේ අන්න ඒක සමතයකට පත් කර ගන්න දරපු උත්සහයක් විදියට තමයි මම නම් දකින්නේ."

"මෙහෙම ගෙවන්න කොහෙන්ද සල්ලි කියන එක හැමෝටම ප්‍රශ්නයක්."

"රජය හොඳ දෙයක් කලේ. රජයේ සේවකයන්ට මේක අස්වැසිල්ලක්."

"කොහොමත් ඉතින් බදු ගහලා තමයි දෙන්න වෙන්නේ. රජයට වෙනම සල්ලියක් නැහැනේ."

"වැටුප් වැඩි වෙච්ච එක නම් හොඳයි. ඒත් ඉතින් අන්තිමට වැටිලානේ තියෙන්නේ."

"බඩු මිල ඉහල ගිහිල්ලනේ තියෙන්නේ. මම හිතන්නේ රාජ්‍ය සේවකයන්ට සතුටක්."

"ජීවන වියදමයි සියලුදේයි බලනකොට අපිට රුපියල් 5000 මදි."

"රුපියල් 5000ක් දෙන්න හිතපු එක ලොකු දෙයක්නේ."

"මීට වැඩිය වැඩි වීමක් වෙන්න ඕනේ කියලා අපි නම් හිතන්නේ."

"ගුරු අරගලය අපි දිගටම ක්‍රියාත්මක කලානේ ලබා දෙන්න ඕනේ දේවල් කියලා. ඒ දේවල් ඒ විදියට ක්‍රියාත්මක වෙන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ."

"හොඳයි ඒක රජයෙන් ගත්ත තීරණයක්නේ."

"ගොඩක් හොඳයි. ගුරුවරුන්ට සාධාරණයක් ඉෂ්ඨ වෙලා තියෙනවා. ගොඩක් සතුටුයි."

"රුපියල් 5000යි වැඩි කරලා තියෙන්නේ. මම හිතන්නේ බඩු මිල ඊට වඩා වැඩි වෙලා තියෙන්නේ."

"රජයේ කට්ටියට රුපියල් 5000ක් දෙනවා. අපේ කට්ටියට 1500යිනේ දෙන්නේ. අපිටත් රුපියල් 5000ක් දුන්නා නම් ප්‍රශ්නේ ඉවරයි. ඒගොල්ලෝ විතරද ජිවත් වෙන්න ඕනේ ලංකාවේ? "

"මොනවා දුන්නත් ඉතින් වැඩක් නැහැ දැන් යන තත්වේ අනුව."

"දෙනකන් විශ්වාසයක් නැහැ ඉතින්."

"අපි නම් ප්‍රයිවට්නේ. රජයේ සේවකයෝ ජීවත් වුනාට අපිට ජීවත් වෙන්න බැහැනේ."

"පෞද්ගලික අංශයටත් සාධාරණයක් වෙන්න ඕනේ. මොකද මිනිස්සු හැමෝම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ."

"සහන වැඩක් නැහැ. ඔය රුපියල් 5000 වැඩක් නැහැ."

"ඇති සහනයක් නැහැ. මොකක්ද දුන්න සහනේ?"

"සහනයක් ලැබිලා නැහැනේ තවම කාටවත්."

"වැඩක් නැහැ ඉතින් මිල අධිකයිනේ හැම බඩුවකම."

"සන්තෝසයි. එහෙම දෙන්න පුලුවන්ද කියලා හිතා ගන්නත් අමාරුයි."

"ඕක ඒ වුනාට ඇන්දිල්ලක් කියලා තමයි හිතෙන්නේ. මොකක් හරි ළඟ ඇති මේගොල්ලන්ගේ දෙයක්. රුපියල් 5000කින් පුලුවන්ද අද ජීවත් වෙන්න? අනිත් මිනිස්සු ජීවත් වෙන්නේ නැද්ද? වැඩක් නැහැ කතා කරලා. ඕනෙම නැහැ ඉතින්."

පඩිය වැඩි වෙයි

මසකට රුපියල් 5,000 විශේෂ දීමනාවක් සියලුම රාජ්‍ය සේවකයින් වෙත ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

2022 වසරේ ජනවාරි සිට එම විශේෂ දීමනාව ලබා දෙන බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ.

මෙම දීමනාව විශ්‍රාමිකයින්ගේ වැටුපට ද එක්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද වැටුප් වැඩි කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇති බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා පවත්වන ලෙසට කම්කරු අමාත්‍යවරයා වෙත උපදෙස් ලබා දෙනු ලැබූ බව යි බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මුදල් අමාත්‍යංශයේ දී ඊයේ (03) රාත්‍රියේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මුදල් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළා.

ආහාර සහ ඖෂධ ගැනත් තීරණයක්

මේ අතර අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ සියළු බදුවලින් නිදහස් කිරීමට කටයුතු කරන බව ද මුදල් අමාත්‍යවරයා පවසනවා.

මෙය ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි ඔහු සඳහන් කළේ.

මේ වන විට රට තුළ ඇති ආර්ථික පීඩනය අවම කිරීම සඳහා මෙම පියවර ගත් බව පැවසෙනවා.

ඉඩම්වලටත් මුදල්

තව ද කෘෂි කර්මයේ වර්ධනයක් ඇති කිරීම සඳහා ද ඉඩම් සඳහා මුදල් ලබා දීමට තීරණය වී ඇති බව සඳහන්.

මුදල් අමාත්‍යවරයා පවසා සිටියේ පර්චස් 20ට අඩු ඉඩම්වල වගාවන් සඳහා රුපියල් 5,000ක මුදලකුත්, අක්කරයත් පර්චස් 20ත් අතර ඉඩම් සඳහා රුපියල් 10,000ක මුදලකුත් ලබා දීමට කටයුතු කරන බව යි.

ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීම සඳහා විශේෂ ආර්ථික පැකේජයක් හඳුන්වා දීම වෙනුවෙන් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වනු ලැබුවා.

IMF සමගත් සාකච්ඡා

මේ අතර මෙම මාධ්‍ය හමුවේ දී මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රජය මේවන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF සමගත් ආසියානු සංවර්ධන බැංකුව සමගත් සාකච්ඡා කර ඇති බව යි.

තමන් IMF වෙත නොයන බවට රජයේ අමාත්‍යවරු කිහිපදෙනෙකුම සපථ කර පවසන පසුබිමක බැසිල් රාජපක්ෂ මහතා මෙම අනාවරණය සිදු කිරීම විශේෂයෙන් කැපී පෙනෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකාවට මූල්‍යමය සහයෝගය ලබා දෙන අනෙකුත් රටවල් සමගත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව ද ඔහු ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 January 2022 17:35