April 26, 2024

බාල ඩීසල් ඇවිත්ද? බස් හිටිහැටියේ නතර වුණ හේතුව බලශක්ති ඇමති කියයි

December 02, 2021

පෞද්ගලික බස් රථ වලට භාවිතා කෙරෙන ඩීසල් ලංගම බස් රථ වලද දුම්රිය, වෑන්, විදුලි ජනන යන්ත්‍ර, විදුලි බලාගාර සදහා ද භාවිතා වන බවත් ඒසේ තිබිය දී පෞද්ගලික බස්රථ පමණක් නතර වනුයේ ඩීසල් බාල නිසා නොව පෞද්ගලික බස් රථ හිමියන්ගෙන් විශාල පිරිසක් දිගුකලක් භූමිතෙල් සිය බස්රථ වල ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමට යාම නිසා බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

බලශක්ති අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව එක්ව සකස් කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් ප්‍රකාශනය හා පැමිණිලි සහ ආරවුල් විසඳාලීමේ ක්‍රියාපටිපාටිය බලාත්මක කිරීමේ සහ ජනගත කිරීමේ උත්සවය පෙරේදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා  මෙම අදහස් දැක්වීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර සිටියා.

නියාමනය නැති නිසා සමහර විට අනිසි චෝදනාවලට ද ලක් වෙනවා. බස් රථ හිමියන්ගේ සංගමයක සභාපතිවරයෙක් සඳහන් කරලා තිබුනා විදේශ විනිමය හිඟයකට රට මුහුණ පා තිබෙන නිසා අද අපේ රටට ආනයනය කරන්නේ බාල ඩීසල්. එම බාල ඩීසල් භාවිතා කිරීමෙන් ඔවුන්ගේ බස්රථ එන්ජිම මග නතර වීමට පටන් ගෙන තියෙනවා. අප මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි කරනවා කියලා. පෞද්ගලික බස් රථ වලට භාවිතා කරන ඩීසල් ම තමයි ලංගම බස් රථ වලද භාවිතා වෙන්නේ. දුම්රිය වෑන් විදුලි ජනන යන්ත්‍ර විදුලි බලාගාර වලට භාවිතා වන්නේ. එහෙම නම් පුද්ගලික බස් රථ එන්ජින් පමණක් නතර වෙන්නෙ කොහොමද?

බස්රථ සංගම් වලම සංඛ්‍යා ලේඛන වලට අනුව පෞද්ගලික බස් රථ ක්ෂේත්රයේ බස්රථවලින් 25% ක් පමණ ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිතා කරනවා. භූමිතෙල් ලීටරයක් රුපියල් හැත්තෑ හතයි. ඩීසල් ලීටරය රුපියල් 111 යි. මේ තියන මිල පරතරය නිසා බස්රථ විශාල වශයෙන් භූමිතෙල් භාවිතා කරනවා. ඇතැමුන් භූමිතෙල් මිශ්‍ර කරලා භාවිතා  කරනවා.  තවත් සමහර අය පිරිසුදු භූමිතෙල් භාවිතා  කරනවා. දීර්ඝ කාලයක් මෙලෙස භූමිතෙල් භාවිතා කරමින් ඒංජිම දිව්වාම එය නරක් වෙනවා කියන එක අමුතුවෙන් සාකච්ඡා කළ යුතු කාරණාවක් නෙවෙයි. පැමිණිලි ඉදිරිපත් කරලා ඒවා විසඳීමේ යාන්ත්‍රයක් දැන්  තියනවා. ඒ නිසා කාටවත් දැන් තැන තැන මාධ්‍ය ඉදිරියේ බොරු කියන්න බැහැ. 

ගෑස් පිපිරුම් ගැන තවත් අනුමානයක්

මේ දිනවල තව තියෙන ප්‍රශ්නයක් තමයි ගෑස් පිලිබඳ ප්‍රශ්නය. ගෑස් වර්ග ගොඩක් තියෙනව. අප මෙතන කතා කරන්නේ ඒල්පීජී වායුව ගැනයි. ගෑස් ටැංකි පුපුරා යනවා යැයි මේ දිනවල ලොකු ආන්දෝලනයක් තියෙනවා. ඉතා පැහැදිලිව කියන්නට ඕනි ගෑස් ටැංකි පුපුරා යාමක් නොවෙයි සිදුවෙලා තියෙන්නේ. ගෑස් වලින් සිදුවන පුපුරා යෑම තමයි සිදු වෙලා තියෙන්නේ. තියෙන ආරක්ෂිත ක්‍රම වේදය අනුව ගෑස් ටැංකිය පුපුරන්නෙ නෑ. මොකක්ද මේ වෙන්නේ.

රසායනික විද්‍යාඥයෙක් වන මහාචාර්ය ජයතිලක මහතා මේ පිළිබඳව හොඳ අනුමානයක් ඉදිරිපත් කළා. ගෙවල් වල ගෑස් කාන්දුවකින් ගෑස් ගඳක් ආවොත් ගිනිකූර ගහන්න එපා දොරවල් අරින්න ජනෙල් අරින්න ගෑස් එක ඉවතට ගෙනියන්න කියලා කියනවා.

නමුත් ගෑස් වල එහෙම ගඳක් නැහැ. මකැප්ටන් කියන රසායනික ද්‍රව්‍ය ගෑස් වලට එකතු කරනවා ගඳ ඇති වන්න. ආරක්ෂාකාරී පියවරක් විදියට. එවිට ගෑස් එක කාන්දු වෙනවා කියන ගෑස් ගන්ධයෙන් අපේ නහයට දැනෙන්නේ ගෑස් නිසා නොවේ. ගෑස් වලට මෙම මකැප්ටන් එකතු කරලා තියෙන නිසයි. මහාචාර්යතුමා අනුමානයක් ඉදිරිපත් කළා මෙම මකැප්ටන් නොදා හෝ ප්‍රමාණවත් ලෙස දමා නොමැති නම් ගෑස් කාන්දුවක් වුණත් ගෑස් කාන්දු වෙනවා කියන එක අප කවුරුවත් දන්නේ නැහැ. එවිට සුපුරුදු පරිදි ගිහිල්ලා ගිනිකූරක් ගැහුවොත් ලිප පත්තු කරන්න ගෑස් උදුන පත්තු කලොත් දුම්වැටියක් දල්වා ගත්තොත් පිපිරීමක් ඇතිවෙනවා ගෑස් හේතුවෙන්.

2016 විතර මට මතකයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මැතිනියත් ගෑස් පිපිරීමකින් බරපතළ තුවාල ලැබුවා. හේතුව ගෑස් කාන්දුවක් තිබිලත් ගෑස් ගඳක් දැනිලා නැහැ.  පහනක් දල්වන්න ගිනි පෙට්ටිය ගැහුවහම  ගිනි ගැනීමක් ඇති වුණා. දීර්ඝ වේලාවක් ගෑස් කාන්දු වී තිබුණ ද ඇයට ගඳක් ඇවිල්ලා නැහැ. එහෙමනම් මේ ගෑස් වල අඩංගු විය යුතු මකැප්ටන් රසායනිකය ප්‍රමාණවත්ව අඩංගු නොවීම හෝ කිසිසේත් අඩංගු නොවීම සිදුවෙලා තියෙනවාද ? 

ශ්‍රී ලංකාවේ එල්පීජී ප්‍රමිතිය ?

ශ්‍රී ලංකාවේ එල්පීජී  පිළිබඳ පරීක්ෂණ කිරීමට  ප්‍රතීනනය කරපු  රසායනාගාරයක් නැහැ. ලාෆ්ස් සමාගමට අයිති රසායනාගාරයක සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයිති රසායනාගාරයක  ගෑස් ගැන පරීක්ෂණ කළ හැකියි. නමුත් ඒවා හදලා තියෙන්නේ ඔවුන්ගේ අභ්‍යන්තර අවශ්‍යතාවයන් සඳහායි. ඒ නිසා ඒක පිළිගැනීමට ලක් කර ගැනීමේ අවශ්‍යතාවයක් වත් කවදාවත් ඇති වුණේ නැහැ. නමුත් මෙතනින් පරීක්ෂණ වාර්තා ඉල්ලද්දි තමයි ප්‍රශ්න මතුවන්නේ.

ඒ වගේම මකැප්ටන් අඩංගුද නැද්ද නිසි ප්‍රමිතියට තිබේදැයි බලන්න ඇමරිකානු ක්‍රමවේදයත් තියෙනවා. අත් බෙහෙත් වලින් මෙය තිබේදැයි බලන්න හැකියාව තිබුණත් එම ඇමරිකානු ක්‍රමවේදය අනුගමනය කිරීම සඳහා පහසුකම් අප ගාව නැහැ. එවැනි අවශ්‍යතාවයක් කවදාවත් ඇතිවෙලා නොතිබුණු නිසා.  ඒ නිසාම මෙම ගෑස් ක්ෂේත්‍රය අනිකුත් ඉන්ධන වලටත් වඩා මේ මොහොතේ වඩාත් වැදගත් වෙලා තියෙනවා නියාමනය කිරීම.

අපේ මන්ත්‍රීවරුන් ඊයේ පාර්ලිමේන්තුවේ කතා කරමින් කියනවා මෙම ගෑස් වල ප්‍රොපේන් 30% ක් සහ බියුටේන් 70% තියෙන්නට ඕනෑ. නමුත් දෙකම 50% බැගින් තමයි ගෑස් සිලින්ඩරයේ තියෙන්නෙ. ඒ නිසයි මේක පුපුරන්නේ කියලා. එවැනි නීතියක් හෝ නියාමනයක් තියෙනවා දැයි කියා මා සොයා බැලුවා. නමුත් එහෙම නීතියක් නැහැ.  දැනට නියාමනයකට තියෙන්නේ පීඩනය සම්බන්ධයෙන් පමණි. මකැප්ටන් දාන්න ඕනේ කියලා කොහෙවත් සඳහන් කරලා නෑ. ප්‍රොපේන්  සහ බියුටේන්  ප්‍රතිෂත ගැන කොහෙවත් සඳහන් කරලා නෑ. ආරක්ෂාකාරී උපකරණ සම්බන්ධයෙන් ගෑස් සිලින්ඩරයේ සඳහන් කළ යුතු තොරතුරු සම්බන්ධයෙන් කොතනකවත් නියාමනයක් නැහැ. ඒ නිසා අද අපේ රටේ පාරිභෝගිකයෝ බියෙන් පෙළෙනවා. මෙතෙක් කලක් අප බයෙන් සිටියේ අපට හොරෙන් අනුන් ඇවිල්ලා තියන බෝම්බ වලට. නමුත් දැන් ගෙදර තියෙන ගෑස් සිලින්ඩරය සියදිවි හානි කර ගැනීම සඳහා සල්ලි දීල ගෙදරට අරන් ගිය බෝම්බයක් බවට පත්වී තියෙනවා. 

මේ බය නැති කළ හැක්කේ ඇත්ත හොයලා ඒය ප්‍රසිද්ධ කරලා එම හේතුව මගහැර ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීමෙන් ම පමණයි. ඒ නිසා බලශක්ති ක්ෂේත්‍රය නියාමනය කිරීමේ වගකීම පවතින මහජන උපයෝගිතා කොමිසම  කඩිනම් පියවර ගනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ සඳහා අපෙනුත් ලබාදිය යුතු යම් සහයෝගයක් වේ නම් ඕනෑම අවස්ථාවක ඒය ලබාදීමට අප සූදානම්. බලශක්ති ක්ෂේත්‍රයේ දී අපි හැමදාමත් ඉතා සුහද සබඳතාවක් පවත්වා ගනිමින් මහජන උපයෝගීතා කොමිසම සමග කටයුතු කරලා තියෙනවා. " යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 December 2021 00:08