April 26, 2024

අල කන්නේ බලාගෙනයි!

November 17, 2021

මිනිස්  පරිභෝජනයට නුසුදුසු ඉන්දියාවෙන් ගෙන්වූ අර්තාපල් සහිත කන්ටේනර් රථයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක තිබියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් සොයා ගෙන තිබෙනවා.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ට ලද තොරතුරක් මත මහනගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබඳ පෞද්ගලික ගබඩාවකට කන්ටේනර් රථයක් මඟින් ගෙන්විත් තිබිය දී එම අර්තාපල් තොගය සොයා ගෙන තිබෙනවා.

අර්තාපල් තොගය කන්ටේනරය තුළ පැළ වී ඇති අතර, කාන්තාවන් යොදා ගනිමින් එම අර්තාපල්වල අංකුර කඩා නැවත වෙළෙඳපොළට යැවීමට සකස්කරමින් තිබිය දී සොයාගත් බව නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසුවා.

කන්ටේනරය තුළ අර්තාපල් කිලෝ 40,000කට අධික ප්‍රමාණයක් ඇති බවත් ඒවා සියල්ල කුණු වී සමහර අර්තාපල් පැළ වී තිබෙනු දක්නට ලැබුණු බව නගර සභා සෞඛ්‍ය නිලධාරීහු පවසනවා.

මීට පෙරද එම ගබඩා හිමිකරු සහ කන්ටේනර් රථ රියදුරා මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ළූණු තොගයක් පාකිස්ථානයෙන් ගෙන්වා සූක්ෂම ලෙස වෙළෙඳපොළට යැවීම සඳහා සූදානම් කරද්දී නගර සභාව සෞඛ්‍ය අංශ අත්අඩංගුවට ගෙන තිබුණු බවද නගරසභා සෞඛ්‍ය නිලධාරීහු පවසනවා.

අර්තාපල් තොගය දඹුල්ලට ගෙනා කන්ටේනර් රථ රියදුරු ව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අර්තාපල් කන්ටේනර් රථය නොවැම්බර් 15 වනදා වරායේ සියලු පරීක්ෂණවලින් නිදහස් කොට ආහාරයට සුදුසු බවට නිර්දේශ කර ලබාගත් බවත් සඳහන් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කිසිදු ලියකියවිල්ලක් අදාළ රියදුරු සන්තකයේ තිබී හමුව නොමැති අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)