May 02, 2024

රජයේ පත්වීම් ලැබූ තරුණයින් ආයතන ප්‍රධානියෙකුගේ පුද්ගලික වැඩට අරන් (PHOTOS)

November 28, 2021

රැකියා ලක්ෂයේ වැඩසටහන පිළිවෙල යටතේ සේවයට බඳවා ගෙන දඹුල්ල බස් ඩිපෝවට අනියුක්තව සේවයේ නියුතු පස්දෙනකු ඊයේ (27) එම ඩිපෝවේ ඩිපෝ ඉංජිනේරුවරයාගේ පෞද්ගලික කඩකාමර දෙකක් ඉදි කිරීම් කටයුතු වල යොදා ගෙන සිටි සිද්ධියක් ඊයේ (27) දින වාර්තා වුණා.

මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන තිස්ස බණ්ඩාර හේරත් මහතාට ඩිපෝ සේවකයන් විසින් ලබා දුන් තොරතුරක් මත හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ඩිපෝවේ සිට කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටි දඹුල්ල සම්පත් වත්ත ප්‍රදේශයේ මෙම සේවකයන් ගොඩනැගිල්ල ඉදිකරන ස්ථානයට ගොස් මේ බව අනාවරණය කිරීම විශේෂත්වයක්.

තිස්ස බණ්ඩාර හේරත් මහතාගේ දැනුම්දීම පරිදි එම ස්ථානයට දඹුල්ල ඩිපෝවේ කළමනාකරු කේ.ජී.උපුල් ප්‍රියංකර මහතා පැමිණ එම සේවකයන් නැවත ඩිපෝවට රැගෙන යෑමට පියවර ගත්තා.

දඹුල්ල බස් ඩිපෝවේ ඩිපෝ ඉංජිනේරුවරයා යටතේ මෙම සේවකයන් සේවය කරන බවත් පෙරවරු 11.00ට පමණ ඩිපෝවෙන් මෝටර් රථයක දමා ගෙන මෙම පෞද්ගලික කඩකාමර දෙකක් ඉදි කරන ස්ථානයට රැගෙනවිත් එහි කම්කරු සේවයේ යොදවා ඇතැයි තිස්ස බණ්ඩාර හේරත් මහතා එම ස්ථානයේදී පැවසුවා.

ඩිපෝ කළමනාකාරවරයාට සහ අදාල බලධාරීන් සියලුදෙනාට මෙන්ම ජනමාධ්‍යවේදීන්ටද තිස්ස බණ්ඩාර මහතා මේ බව දැනුවත් කරමින් දැඩි ලෙස කියා සිටියේ මෙම අසරණ ජනතාවට රැකියා ලබා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුදු වන බවයි. ජනාධිපතිවරයා සහ රජය අපකීර්තියට පත් වන ආකාරයෙන් නිලධාරීන් මේ ආකාරයෙන් ක්‍රියා කිරීම තමන් විපක්ෂයේ මන්ත්‍රීවරයකු හැටියට සිටියද හෙලා දකින බව සඳහන් කළා.

මෙම සේවකයන් ලග්ගල ප්‍රදේශයේ තරුණයන් පස් දෙනෙකු බවත් ඔවුන් ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය යෙදී සිටියදී සේවා අවශ්‍යතාවය මත දඹුල්ල ඩිපෝවේ සේවය සඳහා යොදවා ඇතැයි එම සේවකයෝ පවසනවා.

ඒ අනුව ඊයේ (27) පෙරවරු 11.00ට පමණ ඩිපෝවේ සේවාවෙන් ඉවත්ව ඩිපෝ ඉංජිනේරුවරයාගේ පෞද්ගලික කඩ කාමර ඉදිකිරීම් සඳහා රැගෙන ආ බව එම සේවකයෝ පවසනවා.

ජනාධිපතිවරයා හා රජය අපහසුතාවට පත් වන ආකාරයෙන් මෙම රාජ්‍ය නිලධාරින් සිදුකරන අකටයුතුකම් පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වා එම නිලධාරීන්ට දඬුවම් ලබා දෙන්නැයි හිටපු පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා එම ස්ථානයට පැමිණි දඹුල්ල ඩිපෝවේ කළමනාකාර කේ.ජී.උපුල් ප්‍රියංකර මහතාගෙන් ඉල්ලීමක් ද කළා.

පසුව ඩිපෝ කළමනාකාරවරයා කියා සිටියේ මෙම සේවකයන් පස්දෙනා තමා නැවත ඩිපෝවට රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කොට අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බවයි.

මෙදින තමන් නිවාඩු ලබා ගෙන සිටින බවත් මෙම තොරතුරු ලැබුණු වහාම පැමිණි බවද ඩිපෝ කළමනාකාරවරයා පැවසුවා.

ඩිපෝවට පැමිණ පරීක්ෂාකර බැලීමේදී මෙම සේවකයන් පස්දෙනා ඊයේ (27)  දහවල් 12.30 ට  සේවාවෙන් ඉවත් වූ බවට අත්සන් ලේඛන වල සටහන් තබා ඇතැයි ඩිපෝ කළමනාකාරවරයා සඳහන් කළා.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 November 2021 23:59