May 02, 2024

බැංකුවට සිදුවූ වරදින් ලක්ෂ ගණන් හිමිවුණු නිලුක්ෂිකා රටටම පාඩමක් කියා දෙයි

රාජ්‍ය බැංකුවකට පැමිණි ගනුදෙනුකරුවෙකු සහ ඔහුගේ මිතුරියෙකු හට එම බැංකුවට සිදුවූ අත්වැරදීමකින් රුපියල් ලක්ෂ 13ක අමතර මුදලක් ලැබීමේ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

වඩාත් සුවිශේෂී කාරණාව වන්නේ එම අමතර මුදල යළි බැංකුව වෙත භාර දීමට ගනුදෙනුකරු සහ එම මුදල් ලබාගත් ඔහුගේ මිතුරිය කටයුතු කර තිබීම යි.

දඹුල්ල නගරයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන තරුණියක වන නිලුක්ෂිකා ජයවර්ධන මහත්මිය හට යම් කටයුත්තක් සඳහා රුපියල් ලක්ෂ 07ක මුදලක් අවශ්‍ය වී තිබුණා.

ඇය ඒ පිළිබඳව සිය මිතුරෙකුට පවසා එම මුදල ඉල්ලා ඇත්තේ පසුව යළි ලබා දෙන බව පවසමින්.

ඒ අනුව අදාළ මිතුරා නිලුක්ෂිකා මහත්මියත් සමගම දඹුල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් වෙත ගොස් ඇති අතර බැංකුව තුළට ගිය මිතුරා බෑගයක දැමූ මුදල් රැගෙන පැමිණ නිලුක්ෂිකා මහත්මියට ලබා දී තිබෙනවා.

එම ස්ථානයේ මුදල් ගණන් කිරීම අනාරක්ෂිත වූ බැවින් ඇය එම මුදල රැගෙන සිය රූපලාවන්‍යාගාරයට ගොස් එය ගණන් කළ බව සඳහන්.

එම අවස්ථාවේ දී ඇය වටහාගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 20ක මුදලක් බෑගය තුළ ඇති බව යි.

වහාම මේ පිළිබඳව සිය මිතුරාට දැනුවත් කිරීමට ඇය ක්‍රියා කර ඇති අතර මිතුරා ඇයට පවසා ඇත්තේ තමන් ලක්ෂ 07ක මුදලක් බැංකුවෙන් ලබාගෙන එය ගණන් නොකොට බෑගයේ දමාගෙන විත් ඇය අතට ලබා දුන් බව යි.

බෑගයේ ලක්ෂ 20ක මුදලක් ඇති බැවින් වහාම අදාළ බැංකුව අමතා අමතර මුදල භාර ගැනීමට පැමිණෙන්නැයි බැංකුවට දැනුම් දෙන ලෙසට නිලුක්ෂිකා මහත්මිය සිය මිතුරාට ප්‍රකාශ කොට තිබෙනවා.

ඒ අනුව ඔහුගේ දැනුම් දීම මත බැංකුවේ නිලධාරීන් කිහිපදෙනෙකු සිය රූපලාවන්‍යාගාරය වෙත පැමිණ ලක්ෂ 13ක අමතර මුදල ලිඛිතව භාරගත් බව ඇය අප සමග සඳහන් කළා.

ඇය වැඩිදුරටත් පැවසුවේ මේ පිළිබඳව දැනුම් දෙන තුරු අමතර ලක්ෂ 13ක මුදලක් බැහැර වී ඇති බව අදාළ බැංකුව නොදැන සිටි බව යි.

කාට හෝ රැකියාවක් අහිමි කරවමින් අනුන් සතු මුදලක් තමන් සතු කරගැනීමේ කිසිදු අවශ්‍යතාවක් තමන් හට නොමැති නිසාත්, හදිසි අවශ්‍යතාවකට තමන් හට මුදල් ලබා දීමට ඉදිරිපත් වූ මිතුරාගේ විශ්වාසය ද කිසිදු ආකාරයකින් කඩ නොකළ යුතු නිසාත් ඇය මෙම මුදල යළි භාර දීමට පියවර ගත් බවයි නිලුක්ෂිකා මහත්මිය අප සමග පවසා සිටියේ.

Rate this item
(3 votes)
Last modified on Friday, 02 July 2021 20:08