May 18, 2024

"කුසුමාසන දේවියගේ මව්පියන් මැරුණේ කොරෝනා හැදිලා" - පොහොට්ටු මන්ත්‍රී හෙළිකරයි

කොවිඩ් 19 යනු මාරාන්තික රෝගයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසනවා.

ඒ හේතුවෙන් මෙම රෝගයට මහජනතාව කිසිදු බියක් දැක්විය යුතු නැති බව යි ඔහු පෙන්වා දෙන්නේ.

කොවිඩ් 19 පිළිබඳ මරණ බියක් ජනතාවගේ සිත් තුළ ඇති කිරීම ද සුදුසු නැති බව පවසන දිසානායක මහතා සඳහන් කළේ මරණ බය මරණයට ප්‍රධාන හේතුවක් ලෙස ක්‍රියා කරන බව යි.

මෙම වෛරසය ආසාදනය වන පුද්ගලයින්ගෙන් 81%ක් තමන්ට රෝගය වැළඳුණාදැයි දන්නේ ද නැති බවත් ආසාදිතයින්ගෙන් තවත් 14%කට කුඩා හෙඹිරිස්සාවක් පමණක් වැළඳෙන බවත් ඔහු ප්‍රකාශ කළා.

එස්. බී. දිසානායක මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ මොහොතවන විට මෙරට මරණ අනුපාතය 1.9ක් පමණක් බවයි.

එමෙන්ම මන්ත්‍රීවරයා සිය අදහස් දැක්වීම අතරතුරේ දී ඉතිහාසය සම්බන්ධ කරගනිමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද මෙලෙස සිදු කළා.

“අද මේ දැන් වෙනකොටත් ලංකාවේ මරණ අනුපාතය 1.9යි. උදාහරණයක් හැටියට ගත්තොත්, සීතාවක රජතුමාගේ පුත්‍රයා පළවෙනි රාජසිංහ. ඔහු මහනුවර ආක්‍රමණය කළා. ඒ වෙලාවේ මහනුවර රජ වෙලා හිටපු කරලියද්දේ බණ්ඩාර රජතුමා හා බිසව මන්නාරමේ පරංගි කොටුවට ගියා ආරක්ෂාවට. කුසුමාසන දේවියගේ අම්මයි තාත්තයි. ඒ දෙන්නාටම කොරෝනා රෝගය හැදිලා මැරුණා. ඒ අය බිංගෙයක දාලා තියලා බිංගේ වහලා දැම්මා”

අතීතයේ වසූරිය වංසගත තත්ත්ව වල දී රෝගී පුද්ගලයින් කැලෑවට රැගෙන ගොස් දමා ආ බවත් වෙන කරන්නට දෙයක් නොතිබුණු බවත් එස්. බී. දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ඉතිහාසය පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිළි කළ ඒ මහතා පවසා සිටියේ 1918 වසරේ පැතිර ගිය ස්පාඥ්ඥ උණ රෝගය මිලියන 500කට වැළඳුණු බවයි.

ඉන් මිලියන 50ක් මරණයට පත් වූ බවත් කොවිඩ් රෝගයෙන් තවමත් මියගොස් ඇත්තේ මිලියන 4.47ක් පමණක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

එම නිසා කලබල නොකර රට විවෘත කළ යුතු බවත් වෛද්‍ය පිළිවෙත් අනුගමනය කරමින් රට ඉදිරියට පවත්වාගෙන යා යුතු බව ඔහු ප්‍රකාශ කොට සිටියා.

Rate this item
(3 votes)