May 19, 2024

ලඟදීම විදුලි බිලත් ඉහළට! ක්‍රමවේදය කඩිමුඩියේ සකසයි

විදුලි බිල ඉහළ නැංවීමට අවසර ලබා දෙන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එය දීර්ඝකාලීන ක්‍රමවේදයක් අනුව සිදුවිය යුතු බවත් එම ක්‍රමවේදය සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළා.

ඒ අනුව විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කරමින් සිටියි.

මේ අතර ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව හදිසි විදුලි මිලදීගැනීමට අවසර දුන් බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ.

පසුගිය මස විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 37 ක් වැය වුවද, ඒකකයක් රුපියල් 17 ට විකිණීමෙන් රුපියල් 20 ක පාඩුවක් සිදුව තිබෙනවා.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම සහ ඩොලරයේ අගය ඉහළ යෑම නිසා ලබන මාසය වන විට නිෂ්පාදන වියදම රුපියල් 50 ක් වේ යැයි අනුමාන කරන බවත් ඒ නිසා අනිවාර්යෙන්ම විදුලි ගාස්තු වැඩි කළ යුතු බවත් රත්නායක මහතා සඳහන් කළා.

ඉන්ධන නොලැබීම නිසා මේ වන විට දිනකට මොගාවොට් 300 ත් 500 ත් අතර ප්‍රමාණයක් විදුලි නිපදවීමට නොහැකි වීමට පිළියමක් ලෙස හදිසි මිලදී ගැනීමට අවසර දුන් බව ජනක රත්නායක මහතා කියා සිටියා.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා.

මෙගාවොට් 100 ක් මාස හයක කාලයක් ඇඹිලිපිටිය ඒඑස් පවර් ආයතනයෙන් මිලදී ගැනීමට අවසර ලබාදී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසූවේ. 

Rate this item
(0 votes)