April 28, 2024

"මට මතකයි" - ගෝඨාගේ නිවස වැටලූ හිරුණිකාට මහින්දගෙන් සැර පිළිතුරක්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට පසුගියදා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරියන් ඇතුළු කාන්තාවක් පිරිසක් විසින් විරෝධතාවයක් පැවැත්වුවා.

ඊට මූලිකත්වය ගෙන තිබුණේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියයි.

එම කාන්තාවන් ඉල්ලා සිටින්නේ ගෑස් ,ඉන්ධන හා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කරන ලෙසයි.

අගමැති ඇත්ත පිලිගනී

කෙසේ වෙතත් එම විරෝධතාවය හේතුවෙන් පක්ෂ විපක්ෂ දේශපාලනයේ උණුසුම් වචන හුවමාරුද සිදු වුණා.

මේ අතර එම සිද්ධිය පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කර තිබුණේ ඊයේ (08) සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවයේදීයි.

අද බොහොම අසීරු තත්ත්වයක ඉන්න බව තමන් පිළිගන්න බවත් විදුලිය, ඩීසල්, ගෑස් හිඟ වීම හේතුවෙන් මෙරට කාන්තාවෝ දුක්විඳින බව දන්නා බවත් අගමැතිවරයා කියා සිටියා.

කවුරුවත් කියන්න ඕන නෑ 

"මේ ළඟදි ජනාධිපතිතුමාගෙ ගෙදර ඉස්සරහට ගිය කාන්තාවක් මේ ගැන එතුමා දන්නවද කියලා ඇහුවා. කවුරුවත් කියන්න ඕන නෑ ජනාධිපතිතුමා ඒ ගැන දන්නවා." යැයි අගමැතිවරයා ප්‍රකාශ කළා.

"මට මතකයි දෙවැනි කොරෝනා රැල්ල වෙලාවේ ඔය කට්ටිය ජනාධිපතිතුමාට බල කළා රට වහන්න කියලා. වැහුවෙ නැත්නම් ස්වයං ලොක්ඩවුන් කර ගන්නවා කිව්වා. එහෙම රටක් මාස ගණනක් වැහුවාම ආර්ථික වශයෙන් ප්‍රපාතයට වැටෙන බව වහන්න කියපු අය දැනගෙන හිටියා. රට වහලා ගාමන්ට් ඇරල තියෙනකොට ගාමන්ට් වහන්න ගාමන්ට් පොකුරක් හැදෙයි කියලා ඒකත් වහන්න ඒ අය බලපෑම් කළා. එදා රට වැහුවාම මීට වඩා ජනතාවට විපාක විඳින්න සිද්ධ වෙන බව ජාතිය අමතලා කියලා තමයි ජනාධිපතිතුමා රට වැහුවේ. නමුත් අද ඒක ඇත්ත වෙලා තියෙනවා. අද රට වහන්න කියපු අය කවුරුවත් දුක් විඳින ඔබ වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ."

2015 ගෙදර ගිය හැටි

"ඒ විතරක් නොවෙයි අපිව පරාද කරලා 2015 ගෙදර යැව්වා. ඒ වෙනකොට අපි නොරොච්චෝලෙ ඇතුළු විදුලි බලාගාර ගණනාවක් අවුරුදු අටක් තුළ ඉදි කරලයි ගෙදර ගියේ." යැයිද එහිදී අගමැතිවරයා අතීතයද සිහිපත් කළා.

"නමුත් 2015 ඉඳන් යහපාලන ආණ්ඩුව එක මෙගාවොට් එකක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කළේ නෑ. එහෙම අය අද පන්දම් අරගෙන විදුලි කප්පාදුවට එරෙහිව පෙළපාළි යනවා. ඒ යන කාටවත් මතක නෑ එක මෙගාවොට් එකක්වත් ඒ ගොල්ලො එකතු කළේ නෑ. මේ තිබෙන දුෂ්කරතා විතරක් නොවෙයි, ඒවා ඇති වීමට බලපෑ හේතුත් තේරුම් ගන්න. අපි පක්ෂ භේදයක් නැතිව මේ ගැන හිතමු. මේ දුෂ්කර අවස්ථාවේ ඉවසීමෙන් වැඩ කරමු." යැයි අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(4 votes)
Last modified on Wednesday, 09 March 2022 11:26