April 26, 2024

ජනපති ගත් තීන්දුව ගැන අගමැති හා බැසිල් මත දෙකක

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් තිදෙනාගෙන් දෙදෙනකු පරස්පර මතයක සිටි බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ සොහොයුරු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතායි.

විශේෂ සාකච්ඡාව

වීරවංශ හා ගම්මන්පිල මහත්වරුන් කැබිනට් මණ්ඩල ඇමති ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා.

ඊට පොදුජන පෙරමුණ පමණක් නියෝජනය කරන කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු හා මන්ත්‍රීවරු 27ක් පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

එම සාකච්ඡාවට අග්‍රාමාත්‍යවරයා පැමිණි තිබෙන්නේ විනාඩි 15ක පමණ ප්‍රමාදයකින් පසුවයි.

අගමැතිගේ ස්ථාවරය

එහිදී වීරවංශ හා ගම්මන්පිල යන මහත්වරුන් කැබිනට් ඇමති ධුරවලින් ඉවත් කිරීමට මේ අවස්ථාව නොවන බවයි එහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙන්නේ.

රටේ පවතින අර්බුදකාරී තත්ත්වයත් සමඟ එවැනි තීන්දුවක් ගැනීමට මේ සුදුසු වේලාව නොවන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එම සාකච්ඡාවෙන් පසු ජනපති, අගමැති, බැසිල් රාජපක්ෂ මහතා හා කැබිනට් ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වුණා.

මුදල් ඇමතිගේ මතය

එහිදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා දැඩි ස්ථාවරයක සිට සිය මතය ප්‍රකාශ කර බවයි දැනගන්නට තිබෙන්නේ.

තමාව දැඩි ලෙස විවේචනය කළ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් සහභාගී වන කැබිනට් මණ්ඩල රැස්වීම් වලට තමන් සහභාගී නොවන බවයි එහිදී බැසිල් රාජපක්ෂ මහතා දැනුම් දී තිබෙන්නේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ එම ස්ථාවරය රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙකුම අනුමත කර තිබෙනවා.

වීරවංශ හා ගම්මන්පිල යන මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් කිරීමේ අවසන් තීන්දුව ජනපතිවරයා ගෙන තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය නොව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ස්ථාවරය මුල්කොටගෙනයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 March 2022 00:37