May 06, 2024

චමුදිතගේ සිද්ධිය : පොලිස් කණ්ඩායම් තුනක් මෙහෙයුමක

February 14, 2022

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ විමර්ශන කණ්ඩායම් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවයි.

එහිදී තල්දූව මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

"මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ලවු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් කංඩායම් තුනක් විමර්ශන කටයුතු සදහා යොදවා තිබෙනවා. බුද්ධි නිළධාරීන් මෙන්ම CCTV දර්ශන ලබාගැනීම ඇතුළු විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීම් සිදුවෙනවා. සිද්ධියට සම්බන්ධ අයට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට සියළු කටයුතු සිදුවෙනවා."

සමරවික්‍රම මහතාගේ පිළියන්දල - ගංඟාරාම පාරේ නිවසට මුහුණු ආවරණය කරගත් නාඳුනන කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ අද අලුයම් කාලයේදියි.

සිදු කෙරෙන විමර්ශන සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, පිළියන්දල සහ කැස්බෑව පොලිසිවල ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම් කැඳවා තිබෙනවා.

ඊට අමතරව ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්, ඇඟිලි සළකුණු ලබාගන්නා නිලධාරීන්, නිල සුනඛයන් මෙන්ම දුරකථන කුලුණු වාර්තා ද ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කිරීමට යි නියමිත ව ඇත්තේ. 

Rate this item
(1 Vote)