May 02, 2024

කොටවෙහෙර මහා විනාශයක්! කරඬු 08ක් අතුරුදන්! CCTV ගැනත් ගැටළුවක්!

February 12, 2022

රඹුක්කන, දිළිවල පිහිටි කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ ධාතු කරඬු රැසක් අතුරුදන් වී ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

මෙම ධාතු කරඬු කිසියම් පිරිසක් විසින් සොරකම් කර ඇති බව යි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කර සිටියේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේවන විටත් පොලීසිය විමර්ශන ආරම්භ කොට ඇති බව යි.

මංජුසාව කඩා දමලා

මෙලෙස සොරාගෙන ඇත්තේ ඉපැරණි කරඬු පෙළක්වන අතර ඒවා ඓතිහාසික වටිනාකම අතින් ඉතා ඉහළ බව පැවසෙනවා.

රනින් තැනූ කරඬු 05ක් සහ පළිඟුවලින් තැනූ කරඬු 03ක් මෙලෙස සොරාගෙන ඇති බව මනතුංග මහතා පවසා සිටියා.

මෙම කරඬු ඊයේ (11) රාත්‍රී කාලයේ කිසියම් පිරිසක් විසින් සොරාගෙන ඇති බව යි වාර්තා වන්නේ.

1956 සහ 2000 වර්ෂයන්වල දී කොටවෙහෙර භූමියේ සිදු කොට ඇති පුරාවිද්‍යා කැනීම් හරහා මෙම ධාතු කරඬු සොයාගෙන තිබෙනවා.

ඉතා ඉහළ ඓතිහාසික වටිනාකමකින් යුතු මෙම කරඬු සමූහය එලෙස සොයාගැනීමෙන් අනතුරුව කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ අලංකාරාත්මකව සැකසූ විශේෂ මංජුසාවක ඒවා තැන්පත් කොට තිබූ බව සඳහන්.

ධාතු කරඬු සොරාගෙන ඇත්තේ එම මංජුසාව බිඳ දැමීමෙන් අනතුරුව යි.

මිල කළ නොහැකි ඉතිහාසය

මේ අතර කොටවෙහෙර රජමහා විහාරස්ථානය ඉදිකොට ඇත්තේ දේවානම්පියතිස්ස රජ සමයේවන බවටයි ඓතිහාසික සාධක සාක්ෂි දරන්නේ.

එම රජසමයේ විසූ කීර්තිතිස්ස නම් කුමාරයෙකු විසින් විහාරස්ථානය ඉදිකරවා ඇති බව සඳහන්.

විහාරස්ථාන භූමියෙන් සොයාගත් මෙම කරඬුවලින් එකක් ඉන්දියාවේ සාංචි ස්ථූපයේ ආකෘතියක් ලෙස සකස් කොට තිබී ඇති අතර ඒ හරහා මෙම පුරාවස්තුවලට දැඩි ජාත්‍යන්තර වටිනාකමක් ද හිමිවනවා.

මිහිදු මහරහතන් වහන්සේ ද මෙම ස්ථානයට වැඩම කොට ඇති බවට විශ්වාස කරන අතර අදාළ කරඬුව ඉන්දියාවෙහි පිහිටි ස්ථූපයක හැඩය ගැනීම එම විශ්වාසය ද තහවුරු කරන කරුණක්.

අදාළ කරඬුව ක්‍රිස්තු පූර්ව 250ට පමණ අයත්වන බව යි කාලනිර්ණයන්ට අනුව හෙළි වී ඇත්තේ.

එමෙන්ම ලෝක මානව ශිෂ්ඨාචාරයේ සුවිශේෂී සළකුණක් සනිටුහන් කරවූ පුරාවස්තුවක් ද මෙම භූමියෙන් හමුව ඇති අතර එය ඉපැරණි සේද රෙදි කැබැල්ලක්.

එය ඉතිහාසගත වන්නේ දකුණු ආසියාවෙන් සේද රෙදි සම්බන්ධයෙන් හමුවූ පැරණිතම සාක්ෂිය ලෙස යි.

මෙම ඉපැරණි සේද රෙදි කැබැල්ල පිළිබඳ ඔස්ට්‍රේලියාවේ දී කාබන් කාල නිර්ණ පරීක්ෂණයක් ද සිදු කොට ඇති අතර එය අවුරුදු 2200ක් පමණ පැරණි බවට එහි දී අනාවරණය වී තිබෙනවා.

CCTV සාක්ෂියට මොකද වුණේ?

මේ අතර මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව පොලීසිය පවසනවා.

එමෙන්ම අදාළ පරීක්ෂණ සඳහා පොලිස් නිල සුනඛයින් ද යොදා ගත් බව අප වෙත නිරීක්ෂණය වූවා.

මේ අතර මෙම කරඬු තැන්පත් කර තිබී ඇති ධාතු මන්දිරයෙහි CCTV කැමරා කිහිපයක් ද සවි කොට තිබී ඇති බව වාර්තා වෙනවා.

එහෙත් ඒවා තිබී ඇත්තේ ක්‍රියා විරහිත තත්ත්වයේ යි.

ඊයේ (11) දින රාත්‍රියේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ පුණ්‍ය කටයුත්තක් සඳහා බැහැරට ගොස් ඇති අතර විහාරස්ථානයේ රැඳී සිට ඇත්තේ කණිෂ්ඨ හිමිනමක්, සාමනේර හිමිනමක් සහ ගිහි පුද්ගලයෙකු පමණ යි.

කරඬු සොරාගෙන ඇති බව දැක ඇත්තේ පසුදා උදෑසන ධාතු මන්දිරය වෙත ගිය තේවාව භාර තැනැත්තා විසින්.

මේ අතර කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ වැඩවාසය කරන කිවුල්පනේ පඤ්ඤාවංශ හිමියන් පවසන්නේ මාස දෙකක කාලයක පමණ සිට විහාරස්ථානයේ CCTV කැමරා පද්ධතිය අක්‍රීය තත්ත්වයේ තිබූ බව යි.

මේ අනුව විහාරස්ථානයේ තොරතුරු පිළිබඳ හොඳින්ම දැනුවත් පුද්ගලයෙකු මෙම අපරාධයට සම්බන්ධදැ යි ගැටළුවක් පැණනගිනවා.

එසේත් නොමැතිනම් මෙම අපරාධය සිදුකිරීමේ අරමුණින්ම කිසියම් අයෙකු සිතාමතා CCTV පද්ධතිය අක්‍රීය කළේද යන්න පිටුපස ඇත්තේ ද ප්‍රශ්ණාර්ථයක්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 13 February 2022 09:07