May 02, 2024

ඇමැති ජී.එල් සහ ඉන්දුනීසියානු තානාපතිනිය දෙරට අතර සහයෝගිතාවයේ ක්ෂේත්‍ර හඳුනා ගනියි

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පවත්නා සබඳතා 1952 වර්ෂයේ දී විධිමත් ලෙස පිහිටුවීමට පෙර පටන් දිගුකාලීන ඓතිහාසික හා සංස්කෘතික බැඳීම් මත පදනම් වූ පොදු අවශ්‍යතා සහ ඉලක්ක රාශියක් දෙරට විසින් හුවමාරු කරගනු ලැබූ බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කළා.

ශ්‍රී ලංකාව සඳහා ඉන්දුනීසියානු ජනරජයේ තානාපති දේවි ගුස්ටිනා ටොබින්ග් මහත්මිය ඊයේ (24) විදේශ අමාත්‍යංශයට පැමිණි අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙලෙස සඳහන් කළා. ඒ මහත්මිය 2021 දෙසැම්බර් 21 වැනි දින ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව විදේශ අමාත්‍යවරයා සමඟ පැවැත්වූ ප්‍රථම හමුව වන්නේ මෙම හමුවයි.

දෙරට අතර පවත්නා විශිෂ්ට සබඳතා පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා, 2021 වර්ෂයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අතරතුර දී තම ඉන්දුනීසියානු මිත්‍ර පාර්ශ්වයේ විදේශ අමාත්‍ය රෙට්නෝ එල්.පී.මර්සුඩි මහතා හමු වූ බවත්, COP26 සමුළුව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඉන්දුනීසියාවේ ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා හමු වූ බවත් සිහිපත් කළා.

නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ සාමාජිකත්වය දරන අතරතුර පරිසරය, දේශගුණික විපර්යාස, තිරසාර සංවර්ධනය ඇතුළු සමාජීය-ආර්ථික සංවර්ධනය සහ ජාත්‍යන්තර සබඳතා යනාදී ජාත්‍යන්තර තලයේ ගෝලීය ප්‍රමුඛතා සම්බන්ධයෙන් දෙරටම හවුල් දැක්මක් හුවමාරු කරගත් බව අමාත්‍ය පීරිස් මහතා මෙහිදී අවධාරණය කළා.

ඉන්දියන් සාගරය සහ ඉන්දු පැසිෆික් කලාපය සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සභාපතිත්වය දරන බවත්, කඩොලාන පරිසර සංරක්ෂණය පිළිබඳ ගැටළු කෙරෙහි අවධානය යොමු කරන අතරතුර තිරසාර නයිට්‍රජන් කළමනාකරණය සඳහා වූ ව්‍යාපාරයේ මූලිකත්වය ගනිමින් පොදුරාජ්‍ය මණ්ඩලයේ නීල ප්‍රඥප්ති ශූරයකු වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන බවත් විස්තර කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර සංසද හමුවේ සමීප සහයෝගිතාව පළ කිරීම, අපේක්ෂකත්වය සඳහා අන්‍යෝන්‍ය සහය ලබා දීම මෙන්ම වෙළඳාම, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම යනාදී වශයෙන් පුළුල් පරාසයකට දිවයන සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීමට විදේශ අමාත්‍යවරයා සහ තානාපතිනිය සිය කැමැත්ත පළ කළා. 

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 70 වසරක් සපිරීම නිමිත්තෙන් 2022 වර්ෂයේ අගෝස්තු මස පවත්වනු ලබන සංවත්සර සැමරුම සඳහා දෙරටේ නායකයින්ගේ ඉහළ පෙළේ අන්තර්ක්‍රියා පමණක් නොව, පුද්ගලාන්තර සබඳතා ඉහළ නැංවීම මෙන්ම ව්‍යාපාර, වෙළඳාම සහ සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත සබඳතා පැවැත්වීමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළා.

දෙරට අතර සංවත්සර සැමරුම පැවැත්වීමට මත්තෙන් මෙරට සංචාරයක නිරත වීම වඩාත් යෝග්‍ය බව විදේශ අමාත්‍ය පිරීස් මහතා සිය මිත්‍ර පාර්ශ්වය වෙත දන්වා සිටි අතර, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ඉන්දුනීසියානු විදේශ අමාත්‍යවරයා වෙත උණුසුම් ඇරයුමක් ද පිරිනැමුවා. කොළඹ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඒකාබද්ධ කොමිසමේ තුන්වැනි සැසිවාරය කඩිනමින් කැඳවීම, ආර්ථික සහයෝගිතාව ගැඹුරු කිරීම සහ පුළුල් කිරීම සඳහා ජනාධිපති විඩෝඩෝ ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට නියමිත සංචාරය පිළිබඳව පසු විපරම් කිරීම මෙන්ම, ද්විපාර්ශ්වික ආර්ථික ක්ෂේත්‍රය තුළ මෙතෙක් ප්‍රයෝජනයට නොගත් විභවයන් ප්‍රයෝජනයට ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද දෙදෙනා සාකච්ඡා කළා.

සංහිඳියා කටයුතුවල ප්‍රගතිය, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ජනතාවගේ සමාජීය - ආර්ථික සංවර්ධනය යනාදිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු ප්‍රගතිය මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ පවත්නා සබඳතා පිළිබඳව තානාපතිනිය දැනුම්වත් කළ  අමාත්‍ය පීරිස් මහතා, අනවශ්‍ය සහ ආක්‍රමණශීලී  අයුරින් රටවල් තෝරා බේරා ගැනීමකට ලක් කරන එක්සත් ජාතීන්ගේ ඇතැම් යාන්ත්‍රණ කෙරෙහි සිය විරෝධය පළ කළා. වෙළඳාම සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු සහ දියුණු වෙමින් පවතින අවස්ථා කෙරෙහි ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වය ලබා දෙන බවත්, විශේෂයෙන්ම පශ්චාද් වසංගත තත්ත්වය හමුවේ දෙපාර්ශ්වයටම මේ සම්බන්ධයෙන් සිය අත්දැකීම් හුවමාරු කරගත හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

දෙරට අතර සබඳතා වැඩි දියුණු කිරීම සඳහා පවත්නා අපේක්ෂා පිළිබඳව සඳහන් කළ තානාපතිනිය, වෙළඳාම, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත සමීප සහයෝගිතාවයේ සහ හවුල්කාරිත්වයේ ශක්‍යතා පිළිබඳව අවධාරණය කළ අතර ශ්‍රී ලංකාවේ සිදු කළ හැකි ව්‍යාපෘති, ශ්‍රී ලංකාව සමඟ පැවැත්විය හැකි සමීප සබඳතා මෙන්ම, අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරික ප්‍රජාව සහ වාණිජ මණ්ඩල අතර සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අරමුණින් එම ක්ෂේත්‍ර පිළිබඳ වැඩි දැනුම්වත් කිරීමක් සිදු කළ හැකි අවස්ථා සහ ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලීමට ඉන්දුනීසියානු කර්මාන්තවල ඇති උනන්දුව ද සඳහන් කළා.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීම සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම ඇතුළුව ආරක්ෂක සහයෝගිතාව සම්බන්ධයෙන් පවත්නා සුවිශේෂී ශක්‍යතා පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා නාවික ආයතන, ජාතික මත්ද්‍රව්‍ය විරෝධී ආයතන සහ ත්‍රස්තවාදයට එරෙහි ආයතන අතර සමීප අන්තර්ක්‍රියා පැවැත්වීම වැදගත් වන බවත්, වාර්ෂිකව නැව් 60,000ක් පමණ ඉන්දියන් සාගරය හරහා ගමන් කරන බවත්, ලෝකයේ තෙල්වලින් තුනෙන් එකක් පමණ මෙම කලාපය හරහා ප්‍රවාහනය කරන බවත් අවධාරණය කළා.

මෙම වර්ෂයේ අග පැවැත්වීමට නියමිත ඉහළ පෙළේ සංචාර ඇතුළුව, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 70 වැනි සංවත්සර සැමරුම දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රයෝජනය මෙන්ම දෙරට අතර පවත්නා සබඳතා ශක්තිමත් කිරීමට යොදා ගැනීමට ඔවුහු අපේක්ෂා කළා.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 January 2022 20:56