May 02, 2024

හෙට ශිෂ්‍යත්ව විභාගයට එන දරුවන්ට විභාග කොමසාරිස්වරයාගෙන් උපදෙස්

2021 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට (22) පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2,943කදී පෙනී සිටින බව, විභාග කොමසාරිස් ජනරාල් L.M.D. ධර්මසේන මහතා සඳහන් කළා.

ඒ සිංහල මාධ්‍යයෙන් 255,062ක් සහ දෙමළ මාධ්‍යයෙන් 85,445ක් වශයෙන්.

වෙනත් වසරවල අගෝස්තු මාසයේදී පැවැත්වෙන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පසුගිය වසරේ අවස්ථා කිහිපයකදී කල් දැමුණේ කොවිඩ් වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන්.

එම විභාගය මේ වසරේ ජනවාරි (22) පැවැත්වීමට දින නියම කෙරුණේ එවන් පසුබිමකයි.

කොරෝනා ආසාදිත ව සිටින මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත අපේක්ෂකයින් වෙනුවෙන් වෙන ම මධ්‍යස්ථාන 108ක් ස්ථාපිත කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ශිෂ්‍යත්ව විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496ක් ද ස්ථාපිත කර තිබෙනවා.

කොවිඩ්-19 ව්‍යවසනය හමුවේ වුවද කිසිම දරුවකුට අසාධාරණයක් නොවී කොවිඩ් ආසාදිත හා නිරෝධායනයට ලක්වී ඇති දරුවන්ට විශේෂ ක්‍රමවේදයක් යටතේ විභාගයට ලිවීමට පහසුකම් සළසා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා ප්‍රකාශ කළේ.

කොවිඩ් ආසාධිත දරුවන් තමාට ළඟම විභාග මධ්‍යස්ථානය වෙත ගොස් PCR හෝ Rapid Antigen පරීක්ෂණ වාර්තාව ලබා දී විශේෂ මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.

නිරෝධායනය වන සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවන්ට තමාට අදාළ මධ්‍යස්ථානයේම විශේෂ කාමරයක් ස්ථාපනය කර ඇති අතර එහිදී ඔවුන්ට විභාගයට පිළිතුරු ලිවීමට හැකියාව පවතිනවා.

මේ පිළිබඳව දැනටමත් සියලුම විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර තිබෙනවා.

විභාගයට පැමිණීමේදී දෙමාපියන් ඇතුළු දරුවන් මුව ආවරණ පැළම, දෙඅත් සේදීම, පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම වැනි සෞඛය මාර්ගෝපදේශ වලට අනුව ක්‍රියා කළ යුතුයි.

මෙවර ශිෂ්‍යත්වයේ අභියෝගතා පරීක්ෂණ පළමු පත්‍රයට පිළිතුරු ලිවීමට පැය 01ක කාලයක් සහ දෙවන පත්‍රයට ලිවීමට පැය 01ක් සහ විනාඩි 15ක් හිමිවනවා. 

දෙමව්පියන් තම දරුවන්ට මානසික පීඩනයක් නොදී සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දීමට අවශ්‍ය පරිසරය සකසා දිම වැදගත් වන බව ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකුබාලසුරිය මහත්මිය ප්‍රකාශ කළා.

විභාගය ලිවිමේදී ප්‍රශ්න පත්‍රයේ සඳහන් සියුම් තැන් ගැන සැලකිලිමත් වෙමින් සාර්ථකව විභාගයට මුහුණ දෙන ලෙසටයි විශේෂඥ වෛද්‍යවරිය දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.

විභාග මධ්‍යස්ථානය කල් තියා හොයාගන්න -  විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා

අපේ රටේ අවුරුදු 10ක් වයස ඒ වගේම පහේ පන්තියේ ඉගෙනුම ලබන අපේම රත්තරන් දූ පුතුන්ගේ පළමු විභාග අත්දැකීම ගැන කතා කරන්නයි මේ හදන්නේ. පළමුවෙන්ම අපේ දූ පුතුන්ට වචන කීපයක් කියන්න අවශ්‍යයි. විභාගය කියූ ගමන් දරුවන් බය වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ වගේම විභාගයට බය කරලා වැඩිත් ඇති.

වැඩියෙන් වැඩ කරවලා හොඳට පාඩම් කරන්න, හොඳට වැඩ කරන්න කියලා අම්මලා, තාත්තලා කියල ඇති. ඒ කොහොම වුණත් පළමුවෙන්ම බය නැතිව තමන්ගේ මනස සැහැල්ලුවෙන් තියාගෙන මේ විභාගයට සූදානම් වෙලා විභාගයට ලියන්න කියල මුලින්ම දුවලා, පුතාලට කියනවා. මේක ලෝකෙ තිබෙන එකම විභාගය නෙවෙයි. මේක නිසා ඔබට ලොකු පීඩනයක් ඇති වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. නමුත් ඉතාම සැහැල්ලුවෙන් ලියන්න.

කෙසේ වෙතත් අපි විභාගය ගැන කතා කළොත් දූල, පුතාල වෙනුවෙන් අපි 2021 වර්ෂයේ පැවැත්වීමට තිබූ ශිෂ්‍යත්ව විභාගය මේ වෙද්දි පැවැත්වීමට අවශ්‍ය සියලුම දේවල් 2022 ජනවාරි 22 සෙනසුරාදා සූදානම් කර තිබෙනවා. වෙනදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ ඉරිදා දිනවල. නමුත් අපි මෙවර පවත්වන්නේ සෙනසුරාදා දිනයේයි. ඒක අම්මලා, තාත්තලට හා ගුරුවරුන්ට විශේෂයෙන් මතක් කරනවා.

ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. පුරුද්දට වගේ ඉරිදා කියල මතක තියා ගත්තොත් විභාගය ඉවර වෙලා තියෙයි. විභාගය ආරම්භ වන්නේ උදෑසන 9.30ට. සෙනසුරාදා උදේ 9.30ත් 10.30ත් අතර පැය පළමු ප්‍රශ්න පත්‍රයට වෙන් කර තිබෙනවා. දෙවැනි ප්‍රශ්න පත්‍රය 11.00 සිට 12.15 දක්වා පැවැත්වෙනවා. පළමු ප්‍රශ්න පත්‍රයට පැයකුත්, දෙවන ප්‍රශ්න පත්‍රයට පැයකුත් විනාඩි 15කුත් ඒ අනුව හිමි වෙනවා.

ඒ අතර විවේකයකුත් තිබෙනවා. මෙවර අපේක්ෂකයන් සිංහල මාධ්‍යයෙන් දෙලක්ෂ පනස් පන්දහස් හැට දෙකක් (20,5562)සිටිනවා. ද්‍රවිඩ මාධ්‍යයෙන් අසූපන්දහස් හාරසිය හතළිස් හයක් (85,446) විභාගයට මුහුණ දෙනවා. ඒ අනුව සමස්තය තුන්ලක්ෂ හතළිස් දහස් පන්සිය අටක් (340,508) වෙනවා.

ලංකාව පුරා විභාග මධ්‍යස්ථාන දෙදහස් නවසිය හතළිස් තුනක් (2,943) ක්‍රියාත්මකයි. මීට අමතරව තවත් එකසිය අටක් (108) කෝවිඩ් රෝගය ආසාදිත දරුවන් ලෙස විශේෂිත විභාග මධ්‍යස්ථානවලදී විභාගය ලියන්න නියමිතයි. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන හාරසිය අනූහයයි(496).

මේ සියලු කටයුතු ගොඩාක් දුරට අවසන් කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට, ගමනාගමන මණ්ඩලවලට විශේෂ ස්තූතියක් පුද කරනවා. ඒ අයත් මේ විභාගය සඳහා අවශ්‍ය සහය ලබාදී තිබෙනවා.

මේක දරුවන්ගේ වගේම දෙමාපියන්ගේ බලාපොරොත්තුවක්. ඒ නිසා මේ කටයුත්තේදී දරුවන් වෙලාවට විභාගයට වාඩි කරවන එක තමයි අපේ බලාපොරොත්තුව. ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් ලංකාවේම අවධානය මේ වෙලාවේ යොමු කරන්න අවශ්‍යයි.

විභාගයට මුහුණ දෙන දරුවාට දැන් මහා විශාල දෙයක් කරන්න නෑ, දරුවන් සැහැල්ලුවෙන් තියන්න. මේ පුංචි දරුවන්. මේ වයස විභාගයකට මුහුණ දෙන්න වයසක් නෙවෙයි. නමුත් අපේ රටේ තත්ත්වය මේක නිසා අපිට මේ විභාගයට මුහුණ දෙන්න සිදුවෙනවා.

ඒ නිසා දරුවන්ට මහා බරක් නිතරම ඔළුවට දාන්න එපා. පීඩනය අඩු කරන්න. ළමයව බය කරන්න එපා. ඔන්න හොඳට විභාගය ලියන්න, මහන්සි වෙලා විභාගය ලියන්න, ලකුණු 190ට වඩා ගන්න ඕන වගේ දේවල් කියන්න එපා. සාමාන්‍ය සංසිද්ධියක් බවට මේ ශිෂ්‍යත්ව විභාගය පත්කරන්න. විභාගයට යන්න තියෙන දවසේ උදේ ආදරේට කිරිබත් හදලා, කිරිබත් කවලා, කිරි පොවලා කුස පුරවලා විභාග ශාලාවට එවන්න එපා.

එහෙම එව්වම දරුවට විභාගය ලියන්න බෑ. නිදිමත, වමනය, බඩේ අමාරුව ඇති වෙනවා. පහුගිය විභාගවලදී ප්‍රශ්න පත්‍රය හෝදලා ගන්න සිදුවූ අවස්ථා තිබෙනවා. ඒ නිසා දරුවට සැහැල්ලු ආහාරයක් ලබා දී විභාගයට එවන්න. මීළඟට අර පොඩි විවේකයේදී කන්න වතුර බෝතලයක් සමග කෙටි ආහාරයක් එවන්න. සැනිටයිසර් බෝතලයක්, පැන්සල් දෙකක්, ඉරේසරයක්, කටර් එකක්, අඩි රූලක් එවන්න (බ්ලේඩ් එවන්න එපා).

වෙනත් ළමයින්ගෙන් ඉල්ලගෙන පාවිච්චි කරන්න බලාගෙන එන්නෙ නැතිව තමන්ට අවශ්‍ය දේවල් තමන් අරන් එන්න. විශේෂයෙන් මකන දියර පාවිච්චි කරන්න බැහැ. පෑනෙන් වගේම පැන්සලෙනුත් මේ විභාගෙට උත්තර ලියන්න පුළුවන්. වැරදුණොත් තනි ඉරෙන් කපලා දාන්න. ඒ ගැන අවධානය යොමු කරන්න. ඉලෙක්ට්‍රොනික අත් ඔරලෝසු පැලඳීම තහනම්. සැහැල්ලුවෙන් දරුවන් එවන්න.

අම්මලා, තාත්තලා මේ වෙලාවේ දුවට පුතාට ආදරෙන් සලකන්න, ආදරෙන් කතා කරන්න. වෙනදා අගෝස්තු වලින් පීඩනය ඉවරයි. මේ අවුරුද්දේ මේ වෙනකන් මේ පීඩනය දරන් හිටියා. පසුගිය කාලේ දරුවන්ට ක්‍රීඩා කරන්න බැරි වුණා. ඒ නිසා දරුවො ඉන්නෙ මානසික වශයෙන් පීඩනයක. මේ පීඩනය හෙට ඔවුන් බිම තියන්න යනවා. ඒ නිසා විභාගෙ ඉවර වුණාට පස්සෙ කොහොමද ලිව්වේ, ලේසිද, ලකුණු කීයක් තියේවිද අහන්න එපා.

ඒ වගේම ලකුණු ආවම දෙමවුපියන් විසින් නැවත දරුවන්ව මානසික පීඩනයට පත්කරනවා. ලකුණු අඩු නම් දැන් කොහොමද පාසලකට යන්නේ වගේ දේවල් අහන්න එපා. අපේ දරුවො ගොඩාක් අසරණයි මේ විභාගෙ නිසා. මේ විභාගෙ දරුවන්ට ඇත්තටම ගැළපෙන්නෙ නැහැ. නමුත් රටේ ක්‍රමය හැටියට මේ විභාගෙ පවත්වන්න වෙනවා. අපේ කාලේ විභාගයක් තිබ්බද කියල මතක නෑ. නමුත් දැන් තත්ත්වය වෙනස්.

නමුත් දරුවන්ගේ සැබෑ ළමා කාලය විඳින්න දෙන්න. පරිසරය අත්දකින්න දෙන්න. ශිෂ්‍යත්වෙ ඉවර වුණාම සැහැල්ලුවෙන් දරුවාට ඉන්න දෙන්න. බය නොවී විභාගෙ සමත් වෙන්න ලියන්න. අසමත් වුණත් කමක් නෑ. විභාගෙ ෆේල් වුණා කියල ඉස්කෝලයක් නැති වෙන්නෙ නෑ. ඔයාලට ඉස්කෝල ඕනතරම් තියෙනවා. ඒ නිසා තමන්ට ලකුණු කීයක් ලැබුණත් ඔබ කවුරුත් දිනුම්.

අම්මලා තාත්තලට කියන්න තියෙන්නේ 9.30ට විභාගෙ පටන් ගන්නේ. ළඟ පාසලේ විභාගය තිබෙනවා කියල විනාඩි 5න් යන්න හිතාගෙන ඉන්න එපා. ඒ වගේම අඩු සිසුන් ප්‍රමාණයක් ඉන්න පාසලක නම් වෙනත් විභාග මධ්‍යස්ථානයක විභාගෙ පවත්වන්න පුළුවන්. ඒ විභාග මධ්‍යස්ථානය කල් තියා හොයාගන්න. දැනටම ඔබට ඒ පිළිබඳව දැනගන්න ලැබිලා ඇති.

ඔබේ පාසලට ඔබ භාර දෙන දරුවන් ගුරුවරුන් විසින් අදාළ මධ්‍යස්ථානවලට රැගෙන යාවි. ඒ නිසා ළමයින්ව කල්තියා ගුරුවරුන්ට භාර දෙන්න. අඩුම තරමේ 9ට වත් ළමයව භාර දෙන්න. මොකද විභාග ශාලා 5ක් වත් මේ මධ්‍යස්ථානවල සකස් කර ඇති.

ඒවායේ ඔබේ දරුවාගේ විභාග අංකය තිබෙන ශාලාව හොයාගන්න ගුරුවරයාට සිදුවෙනවා. ඒ වගේම ඩෙස් පුටු හෙලවෙන ඒවා තිබ්බොත් ඒවා සකස් කරන්න සිදුවේවි. ඒ නිසා හති දාගෙන දුවන්න තියා ගන්නේ නැතිව ඇතිතරම් වෙලාව ඇතිව ඔබේ දරුවාව විභාග මධ්‍යස්ථානය වෙත යොමු කරන්න වග බලා ගන්න. විභාගයට මුහුණ දෙන පුංචි ඔබ සැමට සියලු විශ්ව ශක්තීන්ගේ ආශිර්වාදය ලැබේවා.!

Rate this item
(0 votes)
Last modified on Friday, 21 January 2022 21:35