May 17, 2024

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩට මැදිහත්වූ ඇමැති බන්දුලට ඇමැති ජී.එල්ගෙන් රතු එළියක්

February 02, 2021

අමාත්‍යාංශයේ කටයුතු කරන්නේ හිටපු ඇමැති නොව වත්මන් ඇමැතිවරයා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ පිළිබඳව මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

"අමාත්‍යාංශයේ කටයුතු කරන්නේ හිටපු ඇමැති නොව වත්මන් ඇමතියි. හිටපු අමාත්‍යාංශ වැඩකටයුතුවලට මම නම් කවදාවත් මැදිහත්වෙන්නේ නැහැ." යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

ශිෂ්‍යත්ව විභාගයෙන් පාසැල් සඳහා නියම කරන කඩඉම් ලකුණු තීරණය කෙරෙන්නේ පාසැල් මට්ටමේ ක‍්‍රමවේදයකට අනුව බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ පාසැල්වල 06 ශ්‍රේණියේ පන්තිවල ශිෂ්‍ය ධාරිතාව මත මෙම කඩඉම් ලකුණු තීරණය වන බවයි.

බොහෝ ජනප්‍රිය පාසැල්වල කඩඉම් ලකුණ ඉහළ ගොස් ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන දරුවන් සඳහා එම පාසැලේ ඇති පන්තිවල ශිෂ්‍ය ධාරිතාව සීමාසහිත වීම හේතුවෙන් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ආශ‍්‍රිතව ගැටලූකාරී තත්ත්වයක් සැමවිටම මතුවන්නේ දිවයින පුරා ඇති ජාතික පාසැල් 373 කේන්ද්‍ර කර ගනිිමින් බව ද ලේකම්වරයා අවධාරණය කළේය.

කෙසේවෙතත්, ගුරු වෘත්තීය සමිති පවසන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලැබූවන් ජනප්‍රිය පාසැල්වලට ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු මෙවර විශාල ලෙස ඉහළ යාමට හේතුවී ඇත්තේ වරින්වර ජනප්‍රිය පාසැල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම හේතුවෙන් බවයි.

 

Rate this item
(1 Vote)