May 03, 2024

අන්තවාදීන්ට මම බය නෑ - සජිත් "ග්‍රෙනේඩ් නාඩගම" ගැනත් කියයි

තමන් අන්තවාදීන්ට, ජාතිවාදීන්ට හා ආගම්වාදීන්ට බය නැති බවත්  මේ රටෙන් ජාතිභේදය, වර්ගවාදය,අන්තවාදය සහමුලින්ම අතුගා දැමිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.

කම්කරු ජාතික සංගමයේ නායක පලනි දිගම්බරම් මහතා විසින් නුවරඑළිය සිනෙසිටා ක්‍රීඩාංගනයේ සංවිධානය කරනු ලැබූ තෛපොංගල් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(16) සහභාගි වුණා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා.

මන්දිරවල ගෑස් පුපුරන්නේ නැති බවත්, ඔවුන්ට කිරිපිටි වල ප්‍රශ්නයක් නැති බවත්, ඔවුන්ට බන්දේසියක තබා සියල්ල ලැබෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා අද පොහොර පෝලිමේ සිටින්නේත්,ගෑස් ටැංකි පිපිරීමෙන් පීඩාවට පත් වන්නේත්, අන්ධකාරයේ සිටින්නේත් මේ රටේ අහිංසක ජනතාව යැයි ද කියා සිටියා.
 
වතු කම්කරු ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම වෙනුවෙන් අනාගත රජයක් යටතේ සිදු කරනු ලබන මෙහෙවර ඇතුළත් කොට වතු කම්කරු ප්‍රඥප්තියක් සමගි ජන බලවේගය මේ දිනවල නිර්මාණය කරමින් සිටින බව විපක්ෂ නායකවරයා පැවසුවා.

අනාගත සමගි ජන බලවේග රජයක් තුළ මේ රටේ වතු කම්කරු සංවර්ධනය වෙනුවෙන් විශේෂිත වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරන්නට කටයුතු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තමන් මේ පිළිබඳව පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණ සමයේදී කරුණු ඉදිරිපත් කරන විට ජාතිවාදය ආගම්වාදය පදනම් කරගනිමින් ප්‍රහාර එල්ල කළ බව බවද සඳහන් කළා.

අදටත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අල්ලන්නට ආණ්ඩුව සමත් වී නැතැයි ද, අදාළ පරීක්ෂණ කිසිවක් විශ්වාසනීය ලෙස සිදු නොවන්නේ ඇයිද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

මෑතකදී සිදු වූ ග්‍රෙනේඩ් බෝම්බයක් හමුවීමේ සිදුවීම පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණ වල ස්වභාවය හේතුවෙන්ම අදාල සැකය තවදුරටත් තීව්‍ර්ර වන බවද ඒ මහතා පැවසුවා.

අතිඋතුම් කාදිනල් හිමිපාණන් වහන්සේ කරන ඉල්ලීම පවා මායිම් නොකරන ආණ්ඩුව මේ සියල්ල විහිළුවකට ගෙන ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා, පාස්කු ප්‍රහාරයට මුවාවී බලය ලබාගත් ආණ්ඩුව, අද ඒ සියල්ල අමතක කොට ඇතැයිද පැවසුවා. 

අද වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතළ සැකයක්, මුළු මහත් සමාජය තුළම නිර්මාණය වී ඇතැයි ද, ආණ්ඩුවේ සැකකටයුතු හැසිරීම සහ අදාළ පරීක්ෂණ පිළිබඳව ඇති මන්දගාමි ස්වරූපය ඒ බව මනාව ඔප්පු කොට ඇතැයි ද විපක්ෂ නායකවරයා කියා සිටියා. 

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඇතුළු චූදිතයින් සියලු දෙනාට රට සාධාරණ ස්වාධීන පරීක්ෂණයක් තුලින් ලබාදිය යුතු උපරිම දඬුවම ලබාදීමට තමන් කිසිවිටකත් පසුබට නොවන බව පැවසූ ඒ මහතා මේ ආණ්ඩුව යටතේ එවැන්නක් බලාපොරොත්තු වීම විහිළුවක් බව ද සඳහන් කළා.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ මස්කෙලිය පැවති ජන හමුවකට අද (16) එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 16 January 2022 23:53