May 17, 2024

කොටදෙණියාව දරුවන්ගේ රහස හෙළිවෙයි

සති 06ක පමණ කාලයක් තිස්සේ අතුරුදන්ව සිටි කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවන් දෙදෙනා දින 43කට පසු අද (06) සොයාගනු ලැබුවා.

ඒ, එම දරුවන් දෙදෙනා කාන්තාවක විසින් මීරිගම පොලීසියට භාර දීමත් සමග යි.

පසුගිය නොවැම්බර් 23 වැනි දා මෙම දරුවන් දෙදෙනා අතුරුදන් වූ බවට වාර්තා වූවා.

මෙලෙස අතුරුදන් වූයේ අවුරුදු 10 සහ 12 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙක්.

ඔවුන් දෙදෙනා ඥාති සොයුරන් දෙදෙනෙකු වන නමුත් පදිංචිව සිට ඇත්තේ කොටදෙණියාව, බාඳුරාගොඩ ප්‍රදේශයේ පිහිටි එකම නිවසක යි.

දරුවන් දෙදෙනා සෙවීමට පොලීසිය දැඩි ප්‍රයත්නයක් දැරූ නමුත් එය අසාර්ථක වීම හමුවේ දරුවන් දෙදෙනාගේ ඡායාරූප මාධ්‍යට නිකුත් කළ පොලීසිය ඒ සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා මහජන සහය පැතුවා.

මෙලෙස දරුවන් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැතිව සිටි පසුබිමක මීරිගම ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන යන කාන්තාවක් දරුවන් දෙදෙනා මීරිගම පොලීසිය වෙත කැඳවාගෙන පැමිණ භාර දී තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේ මෙම දරුවන් දෙදෙනා සිය වෙළඳසැලට පැමිණ කෑමට යමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත්, ඒ අනුව තමන් ඔවුන්ට ආහාර ලබා දී අද (06) උදෑසන වන තෙක් නවාතැන් ද ලබා දුන් බවත් ඇය පොලීසියට පවසා ඇති බව සඳහන්.

එමෙන්ම ඉරී අපිරිසිදු වූ ඇඳුමින් සිටි දරුවන් දෙදෙනා නහවා පිරිසිදු කොට අලුත් ඇඳුම් ලබා දීමට යි අදාළ කාන්තාව ක්‍රියා කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම දරුවන් දෙදෙනා පසුගිය කාලය තුළ මීගමුව, මීරිගම අවට ප්‍රදේශ කිහිපයක ආහාර ඉල්ලමින් අරමුණකින් තොරව ඇවිද ගොස් ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

මේ අතර තමන් නිවසන් පළායාමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද පොලිස් ප්‍රශ්ණ කිරීම් හමුවේ දරුවන් දෙදෙනා අනාවරණය කොට තිබෙනවා.

නිවසේ දී තමන්ට බොහෝ හිරිහැර විඳීමට සිදු වූ බව පවසන දරුවන් දෙදෙනා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ තමන්ට නිවසේ දී ආහාර ද නිසි පරිදි නොලැබුණු බව යි.

එමෙන්ම පාසල් යාමේ අවස්ථාව ද තමන්ට නිසි පරිදි නොලැබී ඇති බවත් තමන් පාසල් යාමට ඉතා කැමති බවත් දරුවන් පොලීසිය වෙත පවසා ඇති බව යි වාර්තා වන්නේ.

12 හැවිරිදි දරුවාගේ මව දරුවන් දෙදෙනාටම ඉතා කෘෘර ලෙස පහර දී හිරිහැර කරන බව ද ඔවුන් පවසා ඇති බව සඳහන්.

දරුවන් දෙදෙනා වැඩිදුරටත් පවසා ඇත්තේ තමන්ට යළි සිය නිවසට යාමට නොහැකි බව යි.

එමෙන්ම තමන්ව පොලීසියට භාර දුන් කාන්තාව සමග සිටීමට තමන් කැමති බව ද දරුවන් සඳහන් කර ඇති බව යි වාර්තා වන්නේ.

මෙම දරුවන් දෙදෙනා මීට පෙර ද අවස්ථා දෙකක දී නිවසින් පළා ගොස් ඇති බව ද පොලීසිය තවදුරටත් අනාවරණය කරගෙන තිබෙනවා.

දරුවන් දෙදෙනා හෙට (07) දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

Rate this item
(3 votes)
Last modified on Thursday, 06 January 2022 21:48