May 05, 2024

"සියලු සංස්කාරයෝ නැසෙන සුළුය.. මාත් කල්පනා කරන්නේ ඒ ගැන" - විමල්ගෙන් ප්‍රකාශයක්

සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ආණ්ඩුව විවේචනය කිරීම නිසා රාජ්‍ය ඇමතිධූරයෙන් ඉවත් කළද, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන ඇමතිවරුන්ට ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට ලක් වුණා.

මේ පිළිබඳව අද(06) සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අදහස් පළ කරමින් සඳහන් කළේ "මම දන්නේ නෑ ඒක. හැබැයි මං හිතනවා ඒ අය යම් ප්‍රතිපත්තිමය තීන්දුවක ඉඳලා තමයි පසුගිය මැතිවරණ දෙකේ දී කටයුතු කළේ ජයග්‍රහණය වෙනුවෙන්. හැබැයි ඒ ප්‍රතිපත්තිවලින් බැහැර වෙනවා නම් අඩුම ගානේ රජය තුළ ඉඳගෙන හෝ ඒ ප්‍රතිපත්තියෙන් බැහැරවෙන බවට හඬක් නැඟිය යුතුයි කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසා එතුමන්ලාට වරදක් කියන්න බෑ."

මේ අතර අද (06) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසූවේ ආණ්ඩුව විවේචනය කළත් තමා ඇමතිධූරයෙන් ඉවත් නොකිරීම ගැන තමන්ට පිළිතුරු දිය නොහැකි බවයි.

"ඒකට ඉතින් මම කොහොමද උත්තර දෙන්නේ. මාත් මේ කල්පනා කරන්නේ ඒ ගැන." යැයි ඇමතිවරයා සඳහන් කළා.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන තමන් කිසිවක් නොදන්නා බවයි ඔහු කියා සිටියේ.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ "අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන මං කිසිදෙයක් දන්නේ නෑ. සියලු සංස්කාරයෝ නැසෙන සුළුය. ඇති නේ. අපි තේ එකක් බීලා එන්නම්." යනුවෙනි.

Rate this item
(0 votes)