April 25, 2024

ප්‍රමිත බණ්ඩාරත් කලකිරීමෙන් - මහින්දගේ ඉරණම ගැනත් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්යෙන් අදහස් පළ කර තිබුණා.

එහිදී ඔහු සඳහන් කර තිබුණේ "මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ මහා සංවර්ධනයක් කළා. යුද්ධය අවසන් කළා. අවසානයේ දී ඔහුට දුන්න ගරු නම්බුව මහින්ද හොරා" යනුවෙනුයි.

දඹුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා ඉතා කලකිරීමෙන් යුතුව අදහස් පළ කර තිබුණා.

මේ රටේ වැඩ කරන මිනිසුන් මිය යන තුරුම ඇගයීමට ලක් නොවී බැනුම් ඇසීමට පත්ව ඇති බවත් එම තත්ත්වය වහාම නැවැත්විය යුතු බවත් ඒ මහතා සඳහන් කර තිබෙනවා. 

එමෙන්ම අතීතයේ සිට මේ දක්වා වැඩ කරපු දේශපාලන චරිත වලට සමාජය ලබා දුන් තානාන්තර හා ආරූඪ කළ නාම ලේඛනයක් ද මන්ත්‍රීවරයා එක දිගට ඉදිරිපත් කරමින් කියා සිටියේ එවැනි රටක දේශපාලඥයාට වැඩක් කොට හොඳක් ඇසීමට නොහැකි බවයි.

එහිදී ඒ මහතා මෙසේ ද සඳහන් කළා,

"මේ රටේ බිහි වූ නායකයෝ එක එක කාලවල්වල සුවිශේෂී වූ කාරණාවන් ඉටු කළා. එවැනි සේවාවන් සිද්ධ කළ ද ජීවතුන් අතර සිටියදී හොඳක් අහපු දේශපාලඥයෙකු නැහැ. කන්නන්ගර මහත්තයා මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පියා. අද මිනිස්සු මල් තියලා වඳිනවා. හැබැයි එදා කන්නන්ගර මහත්තයා ඡන්දයෙන් පරාජය කරලා රටේ මිනිස්සු ගෙදර යැව්වා."

"ඒ වගේම පි.බී.කලුගල්ල මහතා මේ රටේ නැව් ජනසතු කරපු කෙනා. නැව් රජයට ගත්තු ඒ මහත්තයට රටේ ජනතාව දුන්න නම්බුව තමයි නැව් හොරා කියන එක."

"සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මේ රට ජනරජයක් කළා. පූර්ණ නිදහස මේ රටට අරගෙන දුන්නා. ඒ වගේම ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ගෙනාවා. ධනපතියන් සතු වලව්වල තිබුණු ඉඩම් පුංචි මිනිස්සුන්ට ලබා දෙන්න කටයුතු කළා. එතුමියට ලැබුණු නම්බු නාමය තමයි බිංදු කුමාරි , ඉඩම් හොරා කියන එක."

"ගාමිණී දිසානායක මහත්තයා මහවැලිය හැදුවා. එතුමාට දුන්න නම තමයි මහවැලියේ හොරා"

"මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ මහා සංවර්ධනයක් කළා. යුද්ධය අවසන් කළා. අවසානයේ දී ඔහුට දුන්නේ ගරු නම්බුව මහින්ද හොරා"

"අනගාරික ධර්මපාලතුමා මිය ගියාට පස්සේ උත්සව තියෙනවා, ගරු බුහුමන් කරනවා. ජීවතුන් අතර ඉද්දි රටත් දාලා යන්න වුණා. එතුමාට රටේ ඉන්න බැරි කළා. මිය ගියාට පසුව අද ජාතික වීරයෙක්."

"මේ රටේ හොඳක් අහන්න නම් ගෞරවයක් ලබන්න නම් මැරෙන්නම ඕන. එහෙම රටක් මේක. මැරුණට පස්සේ ගෞරවය දෙනවා. නම්බුව තියෙනවා. ගරු කරනවා. එහෙම පරිසරයක් මේ රට තුල පවතින්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන. අපි මොනවා කළත් බැනුම් අහන එක සාමාන්‍ය දෙයක්."

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානගත වෙමින් ආණ්ඩුව නිවැරදි මඟ ගෙන යාමට නායකත්වය ලබා දෙන්නේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයායි.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 January 2022 16:51