May 01, 2024

තත්ත්වය බරපතලයි! ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හදිසියේ මතුවෙයි!

December 31, 2021

ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 41 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ද මේ බව තහවුරු කළා.

තම විද්‍යාගාරයේ දී මෙම සාම්පල ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත බවට හඳුණාගත් බව පවසන ජීවන්දර මහතා ඉල්ලා සිටින්නේ මෙවන් තත්ත්වයක් මත වහාම බූස්ටර් එන්නත ලබා ගැනීමට ක්‍රියා කරන ලෙසට යි.

එයින් තමන් සහ තම ආදරණීයයන් ආරක්ෂා කරගැනීමට හැකිවනු ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

මෙලෙස හඳුණාගත් නව ආසාදිතයින් 41 දෙනා සමග, මෙරටින් හඳුනාගත් සම්පූර්ණ ඔමික්‍රෝන් ප්‍රභේද ආසාදිතයින් සංඛ්‍යාව 45 දක්වා ඉහළ යනවා.

මීට පෙර එම ප්‍රභේදය ආසාදිත වූ මෙරට පුද්ගලයින්ගේ ගණන දැක්වුණේ 04ක් ලෙසින්.

ලොව වටා පැතිරෙයි

කොවිඩ් වසංගත තත්ත්වය ලොව පුරා වර්ධනය වීමත් සමග ලොව රටවල් සියල්ලම පාහේ අඩපණ වූවා.

විශේෂයෙන් ඩෙල්ටා ප්‍රභේදය ලොව ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට පත් වීමත් සමග එහි දරුණූ ප්‍රතිඵල ලැබෙන්නට වූවා.

අමෙරිකාව, ඉන්දියාව සහ බ්‍රසීලය වැනි රටවල් ඩෙල්ටා ප්‍රභේදයේ දැඩි බලපෑමට ලක් වූයේ ලක්ෂ ගණනක් ජීවිත විනාශ කරමින්.

එම දරුණු තත්ත්වයට පසු එන්නත් සහ ප්‍රතිශක්තිය හමුවේ ලොව යම් අස්වැසිල්ලක් ලබමින් සිටින මොහොතක යි නව ප්‍රභේදයක් ලෙස ඔමික්‍රෝන් කරළියට පැමිණියේ.

මේවන විට ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව වටා පැතිර ගොස් අවසන්.

විද්‍යාඥයින් අනුමාන කරන්නේ ඩෙල්ටා ප්‍රභේදය හීන වී ගොස් ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට පත් වෙමින් තිබෙන බව යි.

මෙවන් තත්ත්වයක් මත නව ප්‍රභේදය හේතුවෙන් ඩෙල්ටා ප්‍රභේදය පැතිර ගිය මුල් අවස්ථාවේ දී මෙන් ලොව පුරා දරුණු ඛේදවාචකයක් හටගන්නට ඉඩ ඇති බවට විද්‍යා ලෝකයේ මත පළ වී තිබෙනවා.

එමෙන්ම පසුගිය වසරේ සිදුවූ පරිදි රටවල් වසා දැමීමට සිදු වීමේ අවදානමක් පවතින බවත්, ඒ හරහා ගෝලීය ආර්ථිකය යළි දරුණු ලෙස කඩා වැටීමට හැකි බවටත් අනාවැකි පළ වෙමින් පවතිනවා. 

ඔමික්‍රෝන් ඩෙල්ටාට වඩා බලවත් ද?

ලොවම සළිත කළ ඩෙල්ටා ප්‍රභේදය හා සසඳන විට ඔමික්‍රෝන් ප්‍රභේදය තුළ ඇති කැපී පෙනෙන වෙනස වන්නේ එහි පවතින විකෘතිතා ගොන්නයි.

ලොව පළමු වරට චීනයේ වූහාන් පෙදෙසින් වාර්තා වූ කොවිඩ් 19 මුල් වෛරසය හා සසඳන විට ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා 02ක් අන්තර්ගත වූවා.

ඩෙල්ටා ප්‍රභේදය සීග්‍ර ලෙස පැතිර යාමටත්, ආසාදිතයින්ගේ රෝග ලක්ෂණ දරුණු වීමටත්, මරණ ගණන වැඩි වීමටත් එම විකෘති හේතු වුණා.

කෙසේ වෙතත් නව ඔමික්‍රෝන් ප්‍රභේදය තුළ පවතින විකෘති ගණන 50ක් පමණවන බව යි අනාවරණය වී තිබෙන්නේ.

වඩාත් සැළකිය යුතු කරුණ වන්නේ එම විකෘතිතා 50න් 32ක්ම වෛරසයේ ස්පයික් ප්‍රෝටීනවල සිදුව තිබීම යි.

ස්පයික් ප්‍රෝටීන

කොවිඩ් වෛරසයේ පිටත ආවරණයේ ඇති කෙඳි සහිත ව්‍යුහයන් ස්පයික් ප්‍රෝටීන ලෙස හැඳින්වෙනවා.

වෛරසය මිනිස් සිරුර තුළට ඇතුළු වූ විට ආසාදනය සඳහා භාවිත කරන්නේ ද මෙම ස්පයික් ප්‍රෝටීන යි.

වෙනත් අයුරකින් පැවසුවහොත්, මිනිස් සිරුරේ සෛල හා සම්බන්ධ වීමට වෛරසය භාවිත කරන යතුර මෙම ස්පයික් ප්‍රෝටීන ලෙස හැඳින්විය හැකියි.

මේ නිසා ඔමික්‍රෝන් ප්‍රභේදය වඩාත් පහසුවෙන් මිනිසුන් තුළ ස්ථාපිත විය හැකි බව සාධාරණ සැකයක් විද්‍යාඥයින්ගේ සිත් තුළ පහළ වී තිබෙනවා.

එමෙන්ම ස්පයික් ප්‍රෝටීන ව්‍යුහයන් විකෘති වී ඇති නිසා මීට පෙර අනෙකුත් ප්‍රභේද ආසාදනය වී සුව වූ පිරිස් වෙත ද ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය විය හැකි බවට විද්‍යාඥයින් බිය පළ කරනවා.

එන්නතත් අපතේ යයි ද?

මේවන විට භාවිතයේ පවතින ප්‍රමුඛතම එන්නත් සියල්ලම පාහේ නිර්මාණය කර ඇත්තේ ද ස්පයික් ප්‍රෝටීන මූලික කරගෙන වීම මීලග ගැටලුව යි.

එහි දී එන්නත් සඳහා යොදාගෙන ඇත්තේ වූහාන් නගරයෙන් හමු වූ මුල් කොවිඩ් වෛරසයේ ස්පයික් ප්‍රෝටීන සැකැස්ම යි.

මෙනිසා නව ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නත්වලට ද විරෝධතාවක් දැක්වීමට වැඩි ඉඩකඩක් පවතින බව ද විද්‍යාඥයින්ගේ මතය වී තිබෙනවා.

එවන් තත්ත්වයක් මතුවුවහොත් එන්නත් ලබාගත් පුද්ගලයින් ද ආසාදිතයින් වීමේ හැකියාව පවතින අතර එන්නත් නිෂ්පාදන ක්‍රියාවලිය ද යළි මුල සිට ඇරඹීමට සිදුවනු ඇති.

මිනිස් ප්‍රතිශක්තිය පැරදෙයි?

මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදය තුළ ඇති ඇතැම් විකෘතිතා මගින් සිරුර තුළ ඇති ප්‍රතිශක්තිකරණ උපක්‍රම මඟහැර යෑමේ හැකියාව දැකිය හැකි බව ද පෙන්නුම් කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ කවාසුලී නේටල් විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය රිචඩ් ලෙස්සෙල්ස් මහතා පවසන්නේ එවන් පසුබිමක නව වයිරස ප්‍රභේදය මිනිසුන් අතර ඉතා පහසුවෙන් පැතිර යා හැකි දරුණු ප්‍රභේදයක් විය හැකි බවයි.

එමෙන්ම ආසාදනය වන්නන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට වෛරසය ජය ගැනීම බොහෝ අසීරුවනු ඇති බවට ද මත පළ වී තිබෙනවා.

විද්‍යාඥයින් මවිත වෙයි

ඔමික්‍රෝන් ප්‍රභේදය වාර්තා වූ පළමු සාම්පලය ලබාගෙන තිබුණේ නොවැම්බර් 9 වැනිදා යි.

මෙය තුළ විකෘති ප්‍රමාණය මෙතරම් ඉහළ අගයක් ගැනීම හේතුවෙන් විද්‍යාඥයන් පවා පුදුමට පත්ව ඇති බව වාර්තා වෙනවා.

මෙම ප්‍රභේදය සොයාගැනීමට මූලික වූ දකුණූ අප්‍රිකානු වසංගත ප්‍රතිචාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ටූලියෝ දි ඔලිවේරා මහතා පවසන්නේ මෙම ප්‍රභේදයේ ඇත්තේ අසාමාන්‍ය විකෘති ප්‍රමාණයක් බව යි.

“මේ ප්‍රභේදය අපිව පුදුමයට පත් කළා. වෛරසයේ පරිණාමය අතින් ගත් විට මෙය ලොකු පිම්මක්. මේ සොයාගැනීමත් සමග ඉදිරි කාලයේ දී පැමිණිය හැකි තවත් විකෘති ප්‍රභේද ගණනාවක් පිළිබඳව අපි බලාපොරොත්තු විය යුතු වනවා”

ප්‍රතිවිරුද්ධ මතය

ඔමික්‍රෝන් ප්‍රභේදය තුළින් උද්ගත විය හැකි දරුණු ප්‍රතිඵල පිළිබඳ බොහෝ විද්‍යාඥයින් මෙලෙස බියමුසු අදහස් පළ කරද්දී තවත් විද්‍යාඥයින් පිරිසකගේ මතය වී ඇත්තේ මෙම ප්‍රභේදයෙහි පැතිරීම වේගවත් වුවත්, රෝග ලක්ෂණ අතින් එතරම් දරුණු නොවිය හැකි බවට යි.

වරින් වර විවිධ කෝවිඩ් ප්‍රභේද නිර්මාණය වීම සාමාන්‍ය බව නව ප්‍රභේදය ගැන අදහස් දක්වමින් එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්ය රවී ගුප්තා මහතා ප්‍රකාශ කරනවා.

ඉන් සමහරක් ඉතා භයානක ලෙස මුලින් සිතුවත් පසුව ඒවා මගින් එතරම් හානි කර තත්ත්ව උදා වී නැති බව ද ඔහු පෙන්වා දෙනවා.

එහෙත් වැඩිදුර කරුණු දක්වමින් ඔහු පවසන්නේ ප්‍රභේදය ගැන දැඩි අවධානයෙන් පසු විය යුතු බවයි.

එමෙන්ම තවත් විද්‍යාඥයින් පවසන්නේ මෙම ප්‍රභේදයෙහි දරුණූ බව තීරණය කිරීමට තරම් තොරතුරු තවමත් ලොව සතුව නොමැති බව යි.

ආසාදිතයින්ගේ වර්ධනය, රෝග ලක්ෂණ ඇතිවීම ආදිය කාලය සමග සියුම්ව පරීක්ෂා කිරීම හරහා ඉදිරියේ දී මේ පිළිබඳව විස්තරාත්මක දැනුමක් ලබා ගැනීමට හැකිවනු ඇති බව ඔවුන් පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 02 January 2022 02:55