May 07, 2024

"ලඟදීම පිපිරීමක් සිදුවේවි" - ලංකාවේ ඉදිරිය ගැන අනතුරු ඇඟවීමක් (AUDIO)

December 28, 2021

ශ්‍රී ලංකාවට බලපා ඇති ආර්ථික අර්බුධයේ ප්‍රතිඵල මේවන විටත් ජනතාව වෙත උග්‍ර ලෙස දැනෙමින් පවතිනවා.

මෙම අර්බුධයට මූලික හේතුව වී ඇත්තේ මෙරට විදෙස් සංචිත තුළ හටගෙන ඇති ඩොලර් හිඟය යි.

මේ මොහොතවන විට ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 1.6ක මට්ටමක පවතින බව යි වාර්තා වන්නේ.

එමෙන්ම ඇතැම් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් මේවන විටත් පවතින අතර ඉන්ධන, ආහාර ඇතුළු බොහෝ භාණ්ඩ හා සේවාවල මිල ගණන් සහ ගාස්තු අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඉදිරියේ දී මෙම තත්ත්වය තවදුරටත් දරුණුවනු ඇති බවට යි අනාවැකි පළ වී ඇත්තේ.

රනිල්ගේ අනතුරු ඇඟවීම

මේවන විට දැනගන්නට ලැබෙන ආකාරයට සිංහල අවුරුදු සමයවන විට මෙරට ආහාර හිඟයක් ඇතිවන බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි එජාප නායකයා මේ බව සඳහන් කර සිටියේ.

එමෙන්ම මේවන විට රට තුළ පවතින ඩොලර් හිඟය ඉතා දරුණු මට්ටමකට පැමිණ ඇති බව ද ඔහු සඳහන් කළා.

ඊට සමගාමීව වැඩි වී ඇති ජීවන බර ජනතාවට උසුලාගත නොහැකි තත්ත්වයකට පැමිණ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පිපිරීමක් ඇතිවේවි

මෙවන් වාතාවරණයක් යටතේ ජනතාව කෝප විය හැකි බවත්, ජනතාව අතර පිපිරීමක් සිදුව ඇති බවත් ඔහු අවධාරණය කළා.

ජනතාව අතර එවන් පිපිරීමක් සිදුවුවහොත් එය ආණ්ඩුවට පමණක් නොව පාර්ලිමේන්තුවට ද බලපානු ඇති බව හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ණය පදනම යටතේ ඉන්ධන සහ ආහාර ඉන්දියාවෙන් ලබා ගැනීමට මේවන විට ආණ්ඩුව සාකච්ඡා කරමින් සිටින බව අනාවරණය කරන වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම සාකච්ඡා පමණක් නොව ඉන්දියාව සමග අත්සන් තැබීමට නියමිතව ඇති ගිවිසුම් ද ඉක්මණින් අවසන් කළ යුතු බව යි.

කළ යුතු දේ

මේවන විට ආණ්ඩුව සිදු කළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යාම බව පෙන්වා දෙන ඔහු අවධාරණය කළේ එය ආණ්ඩුවේ යුතුකම බව යි.

රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේ එම අරමුදලෙන් ආධාර ලබා ගත යුතු බව යි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයන්නේ නම් ආණ්ඩුව විසින් පිළිගත හැකි විකල්පයක් ඉදිරිපත් කළ යුතු බව ද ඔහු අවධාරණය කර සිටියා.

වික්‍රමසිංහ මහතාගේ අදහස් ඇතුළත් හඬ පටය පහතින්..

Rate this item
(4 votes)
Last modified on Tuesday, 28 December 2021 19:26