May 01, 2024

තවත් සභාපතිවරයෙකුට හම්බන්තොටදී විරෝධයක් - ලොක්කන්ට හිතේ හැටියට වැටුප් වැඩි කරගෙන (PHOTOS)

December 28, 2021

හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් පාලක පක්ෂයේ අසීමිත වැටුප් වැඩි කර ගැනීම හා හම්බන්තොට අවට ව්‍යාපාරිකයින්ගේ ලුණු පංගු කපා ඉවත් කිරිම, යන කරුණු හේතුවෙන් ලංකා ලුණු සමාගම දිනෙන් දින විනාශයට පත්වීම වලක්වා දෙන ලෙසට ඉල්ලා හම්බන්තොට මහ ලේවාය ඉදිරිපිට දී හම්බන්තොට ජනතාවගේ විරෝධයක් අද (28) පැවැත්වුණා.

හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පුමුඛව පැවැත් වූ මෙම විරෝධතාවයේ එකම ඉල්ලීම වූයේ දූෂිත සභාපතිවරයා ඉවත් කර නව සභාපතිවරයෙක් හා අධ්‍යක්ෂ මණ්ඩලයක් හම්බන්තොට ලුණු සමාගම වෙත පත් කරන ලෙසටයි.

විරෝධතාකරුවන් හම්බන්තොට වනජීවී කාර්යාලය ආසන්නයේ සිට මහ ලේවායේ දොරටුව දක්වා විරෝධතා පා ගමනින් පැමිණ සටන් පාඨ කියමින් දූෂිත සභාපතිවරයා ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති කාලයේ දී හම්බන්තොට ලුණු සමාගම පෞද්ගලික අංශයට විකිනීමට සූදානම් වීමේ දී වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වී හම්බන්තොට ලුණු සමාගම පෞද්ගලික අංශයට විකිණීමට ඉඩ නොදී සේවක අර්ථසාධක අරමුදල් යටතේ පාලනය කිරීමට කටයුතු කරමින් රැකගත් හම්බන්තොට එකම කර්මාන්තය ලුණු සමාගම අද මෙම සභාපතිවරයා විසින් කාබාසිනිය කරමින් ගෙන යන මේ ක්‍රියාදාමය වහා නතර කර දෙන ලෙසට ජනධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළා.

හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු විරෝධාකරුවන් හම්බන්තොට මහ ලේවායේ ප්‍රධාන  දොරටුව ඉදිරිපිට බිම වාඩි වී අඛණ්ඩව සත්‍යග්‍රහයක් සභාපතිවරයා ඉවත් කරන තුරු සිදු කිරීම ආරම්භ වුණා.

(හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 28 December 2021 15:53