April 18, 2024

රජයට පක්ෂ උද්ඝෝෂණයකට ගල් මුල් ප්‍රහාර - කැරලි මර්ධන ඒකකයත් කැඳවයි (PHOTOS)

රජයට පක්ෂ සහ විපක්ෂ උද්ඝෝෂණ 03 ක් හේතුවෙන් අද (11) දහවල් හලාවත නගරය උණුසුම් තත්වයක් හට ගත් බව ඒෂියන් මිරර් වාර්තකරු පැවසුවා.

රජයට විරෝධය පළ කරමින් නිර්පාක්ෂික කණ්ඩායමක් මුලින්ම හලාවත නගර මධ්‍යයේ විරෝධතා ව්‍යපාරයක් ආරම්භ කර තිබුණා.

එම ස්ථානයට පැමිණි හලාවත කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා කියා සිටියේ මහජනතාවට හිරිහැරයක් නොවන ආකාරයට විරෝධතාවය පවත්වන ලෙසයි.

මේ අතර,‍ රජයට සහාය පළ කරමින් තවත් කණ්ඩායමක් හලාවත නගරයට පැමිණීමත් සමග තත්ත්වය උණුසුම් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රජයට පක්ෂ කණ්ඩායමේ ගමන් කළ පිරිසට විරුද්ධ කණ්ඩායම විසින් ගල් මුල් ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා.

ඒ අතරතුර රජයේ දේශපාලකයින්ට අයත් බවට සැක කරන වාහන කීපයක්ද නගරය මැදින් ගමන් කරන්නට වූ අතර එම වාහන වලටද විරෝධී කණ්ඩයම විසින් ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

අනතුරුව රජයට පක්ෂ කණ්ඩායම පොලිස් ආරක්ෂාව මැද නගරයෙන් ඉවත් කිරීමට කටයුතු කළා.

අවස්ථා කීපයකදීම රජයට විරෝධය පළ කරන කණ්ඩයම පොලිස් බාධක බිද ගෙන ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කළ ආකාරයක්ද දක්නට ලැබුණා.

එම පිරිස පාලනය කිරීම සදහා කැරළි මර්ධන ඒකකය ඇතුළු අමතර කණ්ඩායම්ද හලාවත නගරයට කැදවා තිබූ බව අප වර්තාකරු සඳහන් කළා.

මේ අතර, කතෝලික පියතුමන්ලා විශාල පිරිසක්ද රජයට විරෝධය පළ කරමින් පෙරහැරකින් හලාවත නගරය කරා පැමිණියා.

ඒ වන විට රජයට විරෝධය පළ කරමින් සිටි පිරිසද කතෝලික පියතුමන්ලා ගමන් කළ පෙරහැරට එකතු වූ අතර අනතුරුව ඔවුන් සියළුම දෙනා හලාවත නගර මධ්‍යයේ පිහිටි නගර ආරක්ෂක දේව මාතා ප්‍රතිමාව ඉදිරිපිට ආගමික මෙහෙයක් පැවැත්වුවා.

සිංහල අළුත් අවුරුද්ද වෙනුවෙන් විවිධ දෑ මිලදී ගැනීම සදහා නගරයට පැමිණ සිටි විශාල පිරිසක් මෙම විරෝධතා හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටි අතර නගරය තුළ දැඩි වාහන තදබදයක්ද දක්නට ලැබුණා.

ජූඩ් සමන්ත

 

Rate this item
(0 votes)
Last modified on Monday, 11 April 2022 22:41