May 03, 2024

ජනතාවට අපාය මවා දී සුර සැප සොයා රට යන මැති ඇමතිවරු

December 23, 2021

මේවන විට ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුධයකට ලක්ව ඇති බව කිසිසේත් සැඟවිය හැකි කරුණක් නොවෙයි.

එමෙන්ම දිනෙන් දිනම එය සාමාන්‍ය ජනතාව වෙත දැනෙමින් පවතින්නේ සිය අනාගතය පිළිබඳ අවිනිශ්චිත බවක් ඇති කරවමින්.

ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්න ප්‍රස්තාව පිරුළ සත්‍යයක් බවට පත් කරමින් ඉන්ධන මිල ඉහළ යෑමත් සමග පැවතුණු උග්‍ර ජීවන වියදම දෙගුණ තෙගුණ වී ගියා.

එමෙන්ම විදෙස් සංචිත හිඟ වීම හමුවේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දැඩි ගැටළුකාරී බවකට ඇද වැටෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කොට තිබෙනවා.

එපමණක් නොව වෛද්‍ය වර්ජනය ඇතුළු තවත් ගැටළු ගණනාවක් නිසා මේවන විට සාමාන්‍ය ජනතාව පත්ව ඇත්තේ දැඩි දුක්ඛදායී තත්ත්වයකට යි.

සැප ගන්න යන මැති ඇමතිවරු

මෙවන් පසුබිමක් රට තුළ නිර්මාණය වෙද්දී පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයින් බහුතරයක් නත්තල සහ නව වසරට සමගාමීව සුඛෝපභෝගී නිවාඩු ගත කිරීම සඳහා විදෙස් ගත වී තිබෙනවා.

මෙලෙස විදෙස්ගත වී ඇති පිරිස අතර ආණ්ඩු පක්ෂයේ පිරිස් පමණක් නොව විපක්ෂයේ ද මන්ත්‍රීවරු සිටින බව යි වාර්තා වන්නේ.

එමෙන්ම තවත් මැති ඇමතිවරු පිරිසක් නිවාඩු ගත කිරීමට විදෙස් ගත වීමට නියමිත බව ද සඳහන්.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද පසුගිය දා විදෙස්ගත වූ අතර ඒ පිළිබඳව දේශපාලන වේදිකාවේ ද දැඩි කතාබහට ලක් වූවා.

කබරගොයා තළගොයා වෙයි

මේ අතර පසුගිය දා ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙරට ධනපති පන්තිය පිළිබඳ විවේචනයක යෙදුණා.

මෙවන් අවස්ථාවක දී පවා මෙරට ධනපති පන්තිය කිසිදු කැපකිරීමක් නොකරන බවත්, ඔවුන් වෙනදා මෙන්ම පවුල් පිටින් පිටරට සංචාරවල නිරතව සිටින බවත් ඔහු පැවසුවා.

“මේ රටේ ධනපති පන්තිය කිසිම කැපකිරීමක් කරන්නෑ. ඒ ගොල්ලෝ වෙනදා වගේම සුඛවිහරණයෙන් ලෝකය පුරා ඇවිදිමින් සවාරි යමින් ඉන්නවා. ඒ ගොල්ලන්ගේ පවුල් පිටින්. නිවාඩු කාලේ”

එසේ නම් බැසිල් රාජපක්ෂ මහතා විදෙස්ගත වූයේ මන්දැයි ඒ මොහොතේ මාධ්‍යවේදීන් නානායක්කාර අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

ඔහු පෙරළා ප්‍රශ්ණ කොට සිටියේ බැසිල් රාජපක්ෂ මහතාගේ පවුලේ උදවිය සිටින්නේ විදෙස්ගතව වන බැවින් ඔහු පවුල වෙත නොයා වෙන කවුරුන් වෙත යන්න ද යනුවෙන්.

“බැසිල් මහත්තයාගේ පවුල ඉන්නේ එහෙනේ. ඒ මනුස්සයා යන්න එපායැ. පවුල බලන්න යන්නැතුව ඉතින් කවුරු බලන්න යන්නද?”

රටෙහි ඩොලර් නැති අවස්ථාවක මැති ඇමතිවරු නිවාඩු ගත කිරීම සඳහා විදෙස්ගත වීම සම්බන්ධයෙන් පසුගිය දා මාධ්‍යවේදීන් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගෙන් ද විමසා සිටියා.

ඔහු ප්‍රකාශ කළේ එසේ විදෙස්ගත වනවා ඇත්තේ විදේශ විනිමය ඇති අය බව යි.

වැඩක් නොකරන බැසිල් රට යන එක හොඳයිලු

මේ අතර කාබනික පොහොර නිෂ්පාදන සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් ද මාධ්‍යවේදීන් බැසිල් රාජපක්ෂ මහතාගේ විදෙස්ගත වීම ගැන ප්‍රශ්ණ කොට සිටියා.

එහි දී ඔහු පැවසූවේ බැසිල් රාජපක්ෂ මහතා මෙරට ජනතාවට කිසිදු වැඩක් නොකර මෙරට නිකරුණේ සිටිනවාට වඩා විදෙස්ගත වීම යහපත් බව යි.

බැසිල් රාජපක්ෂ මහතාටත් ජීවිතයක් ඇති බවත්, ඔහු එලෙස නිවාඩු කාලය ගත කොට යළි පැමිණෙන බවත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

එබැවින් බැසිල් රාජපක්ෂ මහතා විදෙස්ගත වීම කිසිදු ගැටළුවක් නොමැති කරුණක් බව ද ඔහු පවසා සිටියා.

“වැඩක් නොකර මේකෙ හිටියත් ඇති වැඩක් නෑනේ. සත පහක වැඩක් නොකර ජනතාවට, නිකම්ම නිකම් බලන් ඉන්නවට වඩා.. ඒ මනුස්සයාටත් ජීවිතයක් තියෙනවා. ඉතින් එයා එයාගේ නිවාඩු කාලය ගත කරන්න ගිහිල්ලා ආපස්සට එනවා. ඒකෙ ගැටළුවක් නෑ. යන්න පුළුවන්.. එන්න පුළුවන්. පැනලා යන්නෙ නෑ ජීවිතේට රාජපක්ෂවරු”

225ම රට ගියත් අවුලක් නෑ

රට තුළ ඩොලර් නැති මෙම අවස්ථාවේ මැති ඇමතිවරු විදෙස්ගත වීම සුදුසු දැයි මාධ්‍යවේදීන් යළි ප්‍රශ්ණ කළ අවස්ථාවේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන් 225 දෙනාම විදෙස්ගත වුවත් කිසිදු ගැටළුවක් නොමැති බව යි.

“ගැටළුවක් නෑනෙ ඉතින්.. දෙසිය විසි පහම ගියත් ප්‍රශ්ණයක් නෑනේ. ඩොලර් නැතිවෙනවා කියලා කියන්නෙ.. ඩොලර් නැති වෙන්නේ බැංකුවල නේ. ඩොලර් නැති එක මේ අපේ රටේ ප්‍රශ්ණයක් නෙවෙයි”

සිය ත්‍රිරෝද රථයට ඉන්ධන පුරවා ගැනීමට පැමිණ සිටි පුද්ගලයෙකු වෙත මාධ්‍යවේදීන් මයික්‍රොෆෝනයක් දිගු කළ අවස්ථාවක ඔහු පළ කළේ මෙවන් අදහසක්.

“මුන්ට හෙණ ගහන්න ඕන. මහජනයට කරන අපරාධෙට. මුන් රටවල් වල යනවා, අපි අසරණ කරලා. කරන්න දෙයක් නෑ ඔහොම යං. අපිටත් වාරයක් එයිනේ. එදාට අපි බලාගන්නවා”

මහින්දත් යයි

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද අද (23) ඉන්දියාව බලා පිටත්ව ගියා.

ඒ තිරුපති කෝවිල වන්දනා කිරීම සඳහා යි.

ඔහු ඉන්දියාව තුළ දින දෙකක් රැඳී සිටින බව ද වාර්තාවනවා.

මෙම සංචාරයට අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද එක්ව සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පසුගිය දා විදෙස්ගත වූ අතර ඒ, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බව යි පුවත් වාර්තා සඳහන් කළේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 December 2021 19:43