May 05, 2024

දෙරණට පසු හිරුට වැඩ වරදියි - මිලියන ගණනක් සිටි YouTube චැනලය හැකර් ග්‍රහණයට

December 23, 2021

මෙරට ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක්වන හිරු TV නාලිකාවට අයත් පුවත් අංශයේ (Hiru News) යූටියුබ් නාලිකාව හැකර් ග්‍රහණයට ලක්ව ඇති බව නිරීක්ෂණය වනවා.

ඒ අනුව මේවන විට එම නාලිකාවේ “Hiru News” නාමය පෙනෙන්නට නොතිබෙන අතර එය “MicroStrategy” ලෙස වෙනස් වී තිබෙනවා.

එමෙන්ම හිරු පුවත් අංශය විසින් සිය යූටියුබ් නාලිකාවට අවසන්වරට වීඩියෝවක් උඩුගත (Upload) කර ඇත්තේ මෙම පුවත පළකරන අවස්ථාවට (පෙරවරු 6.10) පැය 09කට පෙර යි.

ඉන් අනතුරුව හිරු නාලිකාවට අයත් වීඩියෝ කිසිවක් එහි පළ වී නොමැති අතර හිරු නාලිකාවට කිසිදු සම්බන්ධයක් නොමැති සජීවී විකාශ 03ක් පළ වී ඇති අයුරු ද නිරීක්ෂණය කළ හැකි යි.

එම සජීවී විකාශ “ක්‍රිප්ටො කරන්සි” සම්බන්ධ වීඩියෝවන් වීම ද විශේෂත්වයක්.

සජීවී විකාශ තුනෙන් පළමුවැන්න මෙම පුවත පළකරන අවස්ථාවට (පෙරවරු 6.10) පැය 03කට පෙර ආරම්භ වී ඇති අතර හිරු නිවුස් යූටියුබ් නාලිකාව හැකර් ග්‍රහණයට ලක්ව ඇත්නම් එය සිදුව ඇත්තේ මීට පැය 03කට පමණ පෙර යැයි ඒ හරහා අනුමාන කළ හැකි යි.

හිරු නිවුස් යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබර්වරුන් මිලියන 1.35කට හිමිකම් කියනවා.

කෙසේ වෙතත් හිරු නාලිකාව මේ සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් හෝ පුවතක් මේවන තෙක් පළ කොට නැහැ.

මීට මාස කිහිපයකට පෙර දෙරණ රූපවාහිනී නාලිකාවෙහි යූටියුබ් නාලිකාවට ද මෙවැනිම ආකාරයේ හැකර් ප්‍රහාරයක් එල්ල වුණා.

එහි දී ද එම නාලිකාව හැකරුවරුන්ගේ ග්‍රහණයට ලක්වූ අතර දෙරණ නාලිකාවට අයත් වීඩියෝ සියල්ල මකා දැමීමට ඔවුන් ක්‍රියාකර තිබුණා.

කෙසේ වෙතත් නාලිකාව යළි සියතට ගැනීමට දෙරණ ආයතනයට පසුව හැකියාව ලැබුණා.

හිරු නිවුස් යූටියුබ් නාලිකාව දිස්වූ අයුරු පහතින්..

UPDATE (7.30 AM)

සිය යූටියුබ් නාලිකාව යළි යථා තත්ත්වයට පත් කර ගැනීමට හිරු ආයතනයට හැකි වී ඇති බව මේවන විට නිරීක්ෂණයවනවා.

අද (23) අළුයම් කාලයේ දිස් වූ හිරු ආයතනයට අයත් නැති සජීවී විකාශනයන් හෝ වෙනත් කිසිවක් මේවන විට එහි දර්ශනය වන්නේ නැහැ.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ ඔවුන්ගේ ප්‍රධාන පුවත් විකාශයන්වල වීඩියෝ ද එම නාලිකාව තුළ මේවන විට දක්නට නොමැති බව ද විශේෂත්වයක්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 December 2021 09:38