May 19, 2024

කිරි පැකට් වළදැමීම ගැන සමාගමෙන් ප්‍රකාශයක්

December 14, 2021

මිල්කෝ ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලැබූ කිරි පැකට්ටු තොගයක් වළ දැමීමට එම ආයතනය කටයුතු කර ඇති බවට අප මීට පෙර වාර්තා කළා.

එම පුවත සම්බන්ධයෙන් එම සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා අප සමග අදහස් පළ කළ අතර ඔහු පවසන්නේ එම පුවත සත්‍යයක්වන නමුත් එවැනි සුළු නිෂ්පාදන ප්‍රමාණයක් ඉවත දැමීමට සිදුවීම සාමාන්‍ය සිදුවීමක් බව යි.

සිය ආයතනය නිෂ්පාදනය කරනු ලබන සමස්ත කිරි ප්‍රමාණය හා සසඳන විට එලෙස ඉවත් කළ කිරි ප්‍රමාණය විශාල අගයක් නොවන බව යි වික්‍රමසිංහ මහතා අප සමග පවසා සිටියේ.

කාර්මික දෝශයක්

මේ අතර මිල්කෝ සමාගමේ සාමාන්‍යාධිකාරී සුදත් මුණසිංහ මහතා අනාවරණය කරන්නේ සිය සමාගමට අයත් දිගන කර්මාන්ත ශාලාවේ කිරි පැකට්ටු නිෂ්පාදනය කරන යන්ත්‍රයේ හටගත් කාර්මික දෝශයක් හේතුවෙන් අදාළ කිරි පැකට්ටු තොගයෙහි ගුණාත්මක බව පිළිබඳ ගැටළුවක් පැන නැගුණු බව යි.

එම ගැටළුව මතු වූයේ එක් නිෂ්පාදන කාණ්ඩයකට අයත් කිරි පැකට්ටුවලට පමණක් අදාළව බව යි ඔහු පෙන්වා දෙන්නේ.

තත්ත්ව පරීක්ෂාව

එමෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය නිසි තත්ත්ව ආරක්ෂණ ක්‍රමවේදයක් යටතේ සිදුවන බවත්, සිය නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කරන්නේ සියයට සියයක් තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත් වීමෙන් අනතුරුව පමණක් බවත් ඔහු අවධාරණය කරනවා.

සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන පමණක් පාරිභෝගිකයා අතට පත් කිරීම සිය සමාගමෙහි අරමුණවන බැවින් සැක සහිත අවස්ථාවක එම නිෂ්පාදන වෙළඳපොලට නිකුත් නොකරන බව ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව අදාළ කිරි පැකට් තොගය වෙළඳපොලට නිකුත් නොකිරීමට තීරණය කළ බව ද ඔහු සඳහන් කරනවා.

කිරි පැකට්ටු තොගයක් ඉවතලීමට කටයුතු කළ බවට වූ පුවත සත්‍යයක් වන නමුත් එයින් තහවුරු වන්නේ ද මිල්කෝ සමාගම සිය නිෂ්පාදන කෙරෙහි ඉතා තියුණු අවධානයක් යොමු කිරීම බව ද සාමාන්‍යාධිකාරීවරයා පෙන්වා දෙනවා.

පාරිභෝගික සුරක්ෂාව සම්බන්ධයෙන් සිය සමාගමෙහි වගකීම ද මෙම සිද්ධිය හරහා ඔප්පුවන බව ද ඔහු පවසනවා.

සුළු ප්‍රමාණයක්ලු

මිල්කෝ සමාගමෙහි සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පවසන්නේ වසරකට සිය ආයතනය මගින් කිරි ලීටර මිලියන 80ක් වැනි ප්‍රමාණයක් නිෂ්පාදන කටයුතු සඳහා යොදාගන්නා බව යි.

එවන් පසුබිමක මෙලෙස ඉවතලූ කිරි පැකට්ටු සඳහා වැය වී ඇති එළ කිරි ප්‍රමාණය ප්‍රතිශතාත්මකව ගත් විට 0.0275%ක් වැනි සුළු ප්‍රමාණයක් බව යි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසන්නේ මේවන විට එළ කිරි අපතේ යාම ඉතා අවම කර ගැනීමට සිය ආයතනය සමත් වී ඇති බව යි.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 15 December 2021 09:39