May 10, 2024

ඇමති ලේකම් රත්තරන් ගන්න ගිය තැන පොලීසියෙන් කැනීම් අරඹයි

December 03, 2021

මුලතිව් පුදුකුඩිඉරිප්පු, සුදන්තිරපුරම් ප්‍රදේශයේ යුද සමයේදී කොටි සංවිධානය විසින් වලදැමුවේ යැයි පැවසෙන ස්ථානයක පසුගියදා අමාත්‍යංශ ලේකම්වරුන් විසින් ගොඩ ගැනීමට උත්සහ ගත් ස්ථානයේ අධිකරණ නියෝගයකට අනුව ඊයේ දින සිදු කරන ලද කැනීම් කටයුතු අද (03) දිනය දක්වා කල්දැමීමට සිදු වූ බව පුදුකුඩුඉරිප්පු පොලීසිය පවසනවා.

මුලතිව් මහෙස්ත්‍රාත් ආර්.සර්වනරාජා මහතාගේ අධීක්ෂණයන් පරිදි ග්‍රාම නිලධාරීවරුන්ගේද සහභාගීත්වයෙන් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේද සහයෙන් සුදන්තිරපුරම් ප්‍රදේශයේ පිහිටි පොල් වත්තක ඊයේ දින පස්කපන යන්ත්‍රයක ආධාරයෙන් කැනීම් කටයුතු ආරම්භ කලද පැවති අයහපත් කාලගුණය හා තාක්ෂණික දෝෂයන් හේතුවෙන අද දිනය දක්වා කල්දැමීමට සිදුව තිබුණා.

පස්කපන යන්ත්‍රවලින් අඩි පහක පමණ වලවල් දෙකක් කැපුවද එහි හිස් බැරලයක් පමණක් තිබී හමු වූ අතරම කැපූ වලවල්වලට ජලය පිරීම සහ වරින් වර වර්ෂාව ඇදහැලීමත්, ජලය ඉවත් කිරීමට අපහසුවීම යන කරුණු හේතුවෙන් අදාල ස්ථානයට සහ අවට ප්‍රදේශයට පූර්ණ පොලිස් ආරක්ෂාව යොදවා අද දිනය දක්වා කැනීම් කටයුතු කල් දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් වරයා විසින් නියෝග කළා.

කෙසේවෙතත් කැනීම් සිදු කරන ලද ස්ථානය ආසන්නයෙන්ම කපා ඇති ළිඳක් සම්බන්ධයෙන්ද සැකයක් ඇතිව තිබෙන අතර අදාල ළිඳ කපා ඇත්තේ 2014 වසරේ මැයි මාසයේ බවටද අනාවරණය වී තිබෙනවා.

මෙම ස්ථානයේ රත්තරන් ඇති බවට තොරතුරු ලැබීමෙන් අනතුරුව පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් ලබා ගත් අධිකරණ නියෝගයකට අනුව පසුගිය නොවැම්බර් 25 වනදා එහි කැනීම් කටයුතු සිදුකිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබුණා.

මේ අතරවාරයේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සහ ධීවර අමාත්‍යවරයාගේ ලේකම්වරු දෙදෙනෙකු විසින් 23 වනදා පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයට ගොස් අදාල ස්ථානයේ දේශපාලන බලය උපයෝගි කරගනිමින් කැනීම් කටයුතු සිදු කිරීමට උත්සහ ගැනීමේදී පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් පොලිස් ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව කැනීම් කටයුතු නවතා එම නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදනු ලැබුවා.

මේ අතර 25 වනදා අධිකරණ නියෝගයකට අනුව සුදන්තිරපුරම් ප්‍රදේශයේ කැනීම් සිදුකිරීමට සිදුව තිබුනද පැවති මහවිරු සැමරුම සහ අයහපත් කාලගුණික වාතාවරනයන් හේතුවෙන් දෙසැම්බර් 02 වනදා දක්වා කල් දැමීමෙන් පසුව ඊයේ (02) දින කැනීම් කටයුතු සිදු කරනු ලැබුවා.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)