May 01, 2024

මෛත්‍රීගේ වැඩේට ආණ්ඩුවෙන් කුඩම්මාගේ සැලකිළි! මැතිසබේදී දුක කියයි

November 17, 2021

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(17) පැවැති පාර්ලිමේන්තු විවාදයේදී රජය ගෙන යන වැඩපිළිවෙළ ගැන අදහස් පළ කළා.

එහිදී වකුගඩු රෝගය පිළිබඳව අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත හා තොරතුරුවලට අනුව, වැඩි ම වකුගඩු රෝගින් පිරිසක් වාර්තා වෙන්නේ, බස්නාහි‍ර පළාතෙන් බවයි.

පොළොන්නරුවේ ඉදි කළ වකුගඩු රෝහල චීනයෙන් ලැබුණු පරිත්‍යාගයක් බවත් වකුගඩු රෝගයට විසඳුමක් ලද පසු එම රෝහලෙන් කිසිඳු ප්‍රයෝජනයක් නැති බවට ඇතැම් අය ප්‍රකාශ කරන බවත් හිටපු ජනපතිවරයා සදහන් කළා.

විශේෂයෙන් සමස්ත කෘෂිකාර්මික ක්‍රියාවලිය කාබනික වූ පසු මෙම රෝහල ප්‍රයෝජනවත් නොවන බවට ඇතැමුන් ප්‍රකාශ කරන බවයි ඔහු අවධාරණය කළේ.

නමුත් එය ඉතා වැරදි කතාවක් බව පවසන හිටපු ජනපතිවරයා සඳහන් කළේ, වකුගඩු රෝග සිය ගණනක් ඇති බවත් මෙරට පවතින එක ම වකුගඩු රෝගය රජරට වකුගඩු රෝගය නො වන බවත් ය.

දිවයින පුරා විසිරී සිටින වකුගඩු රෝගින් විශාල ප්‍රමාණයක් මෙම රෝහලට එන බව පැවසූ ඔහු සඳහන් කළේ, රෝහලට අවශ්‍ය ඇතැම් පහසුකම් ලබා දීමට රජය සමත් වී නැති බවයි.

ඒ අනුව මෙම රෝහලේ එක්ස් කිරණ ඒකකය ආරම්භ කර නොමැති බවත් රෝහලට අධ්‍යක්ෂවරයෙක් ද  පත් කර නොමැති බවත් පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා, රෝහලේ පැවතිය යුතු රසායනාගාර පහසුකම්, සී.ටී. ස්කෑන් පහසුකම්, වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ආදිය ද පහසුකම් පැවතියත් ආරම්භ කර නො මැති බවත් කියා සිටියා.

රසායනික පොහොර පිළිබඳ ඇති වී තිබෙන ගැටලුව පිළිබඳ කතා කළ හිටපු ජනපති, අනුරාධපුර පිළිකා රෝහලේ පිළිකා රෝගින් විසි දහස ඉක්ම වා ඇති බව හා වකුගඩු රෝගින් ද විසි දහස ඉක්ම වා ඇති බව හෙළිදරව් කළා.

එම රෝගින් බොහෝ දෙනෙක් තරුණ තරුණයින් බවයි ඔහු සඳහන් කරන්නේ.

මෙරට ජනගහනයෙන් 17%ක පමණ ජනතාවක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සඳහන් කරන හිටපු ජනපතිවරයා, ඒ සඳහා ගත වූ කිසිඳු ආණ්ඩුවක් විධිමත් ක්‍රියාමාර්ගයක් නො ගත් බවට චෝදනා කරනවා.

ඊට අමතර ව දියවැඩියාව, අධි රුධිර පීඩනය හා පිළිකා වැනි රෝග ද ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බව ඔහු ප්‍රකාශ කරනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 18 November 2021 13:41