April 28, 2024

රටම කලඹමින් අතුරුදන් වූ දැරියෝ සජිත් සොයා ගිය ගමනේ ඇත්ත එළියට!

November 11, 2021

කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී අතුරුදන් වූ දැරියන් තිදෙනා නිවසින් පිටව ගොස් ඇත්තේ නර්ථන ශිල්පිනියන් වීමේ අපේක්ෂාවෙන් බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

8 වැනි සහ 10 වැනි ශ්‍රේණිවල ඉගෙනුම ලබන මුස්ලිම් ජාතික දැරියන් තිදෙනෙකුවන මොවුන් හැදී වැඩී ඇත්තේ සාම්ප්‍රදායික දැඩි නීති රීති යටතේ බව යි වාර්තා වන්නේ.

ඔවුන් හට සංගීතයට සවන් දීම හෝ රූපවාහිනිය නැරඹීමට පවා සීමා කොට තිබූ බව පුවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙවන් තත්ත්වයක් මත ඔවුන් ඔන්ලයින් අධ්‍යාපනය සිදු කර ඇති අතර, එම කාලයේ දී දකුණූ කොරියානු සංගීත/නර්ථන කණ්ඩායමක්වන “බ්ලැක් පින්ක්” වෙත මෙම දැරියන් දැඩි ලෙස ආකර්ශණය වී තිබෙනවා.

කෙසේ වෙතත් සාම්ප්‍රදායික මුස්ලිම් පිළිවෙත් දැඩිව අනුගමනය කළ සිය නිවස තුළ තමන් ඇළුම් කළ කොරියානු ඇඳුම් විලාසිතා සහ නර්ථන විලාසිතා අනුකරණය කිරීමේ නොහැකියාව හේතුවෙන් මෙම දැරියන් හොර රහසේ නිවසින් පිට වී ඇති බව සඳහන්.

එමෙන්ම කොරියානු නර්ථන හැදෑරීමේ අරමුණක් ද මොවුන් හට තිබී ඇති බව පැවසෙනවා.

තමන් ඇඟලාගෙන සිටි සාම්ප්‍රදායික මුස්ලිම් ඇඳුම් සිය අරමුණට බාධාවක්වන බැවින් මෙම දැරියන් තිදෙනා අත තිබූ මුදු කිහිපයක් විකුණා එම මුදල්වලින්, තමන් ඇළුම් කරන කොරියානු නර්ථන කණ්ඩායමේ සාමාජිකාවන්ට සමාන ඇඳුම් මිලට ගෙන ඒවා ඇඟලාගෙන ගොස් තිබෙනවා.

එහි දී ඔවුන් කැප් තොප්පි පැළඳ, ඩෙනිම් කලිසම් ඇඳ නර්ථන වීඩියෝවක් නිර්මාණය කිරීමේ අරමුණින් නර්ථන පුහුණු පන්තියක් සොයා ගොස් ඇති බව පැවසෙනවා.

එවැනි පන්ති කිහිපයකින් මොවුන් බඳවා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක දැරියන් තිදෙනා අනුරාධපුර බස්රථයකට නැග ගමන් කොට තිබෙනවා.

දැරියන් තිදෙනාගේ හැසිරීම පිළිබඳ සැක සිතූ කොන්දොස්තරවරයා වහාම ඔවුන් තිදෙනා අනුරාධපුරයේ සිට යළි කොළඹ එවීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මන්නාරමේ සිට කොළඹ දක්වා ධාවනයවන වායුසමීකරණය කළ බස් රථයකට දැරියන් තිදෙනා නංවා ඇති අදාළ කොන්දොස්තරවරයා එම බස්රථයේ රියදුරුවරයාට දන්වා ඇත්තේ දැරියන් තිදෙනා කොළඹ දී මිස මග දී බැස්සවීමට කටයුතු නොකරන ලෙසට යි.

එලෙස කොළඹ පැමිණ ඇති දැරියන් තිදෙනා යළි විහාර මහා දේවී උද්‍යානයට ගොස් ඇති අතර පසුව කොරියානු නර්ථන පාඨමාලාවක් හැදෑරිය හැකි ස්ථානයක් පිළිබඳ විමසීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව සොයා ගොස් ඇති බව වාර්තා වෙනවා.

මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ප්‍රේමදාස මහතාගේ කාර්යාලයට මොවුන් තිදෙනා ගොස් ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා හමුවීමේ තැත ව්‍යර්ථ වීම නිසා දැරියන් තිදෙනා හෝටලයකට ගොස් නවාතැන් ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් මොවුන් තිදෙනා බාලවයස්කාරියන් බව දැන ගැනීම මත අදාළ හෝටලයෙන් ද මොවුන්ට නවාතැන් සැපයීම ප්‍රතික්ෂේප කර ඇති බව  සඳහන්.

ඉන් අනතුරුව ඔවුන් කොළඹ සිට මහනුවර බලා පිටත් වූ බසයක ගමන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇදහැලුණු අධික වර්ෂාව සහ වියදම් කිරීම සඳහා තවත් මුදල් සිය සන්තකයේ නොමැති වීම මත දැරියන් තිදෙනා යළි නිවස බලා පැමිණ ඇති බව යි පුවත් ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ.

සාම්ප්‍රදායික නීති රීති හමුවේ මෙම දැරියන් තිදෙනාට නිවස තුළ දැඩි පීඩනයක් පැවැති බව ද පැවසෙනවා.

එමෙන්ම යළි නිවසට පැමිණි අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් මැදිහත් නොවන්නට දැරියන් තිදෙනාට ඔවුන්ගේ දෙමාපියන්ගෙන් පහර කෑමට පවා ඉඩ තිබූ බව පුවත් වාර්තා පෙන්වා දෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 November 2021 10:01