ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට එරෙහි තිබෙන නඩු පසුගිය වකවානුව තුළ දිගින් දිගටම එම නඩු පැවරූ ආයතන විසින් ඉල්ලා අස්කර ගත්තා.
ඒ පිළිබඳව සමාජයෙන්ද එල්ල වූයේ විරෝධතාවයක්.
නඩුව ඉල්ලා අස් කර ගැනීම
එසේ ඉල්ලා අස් කර ගත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නඩුවක් යළිත් පවරා තිබෙනවා.
ඒ ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාට එරෙහිව.
එම කොමිසම ඊයේ (9) ජයතිලක මන්ත්‍රීවරයාට එරෙහිව එසේ නඩු පැවරුවේ ඔහු දොම්පෙ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරද්දී ගත් රු. ලක්ෂ 6 ක අල්ලස් මුදලක් සම්බන්ධයෙන්.
ජයතිලක මහතා එම ධුරය දරද්දී ගල් කොරියක් පවත්වාගෙන යාමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම සඳහා රු. ලක්ෂ 7ක මුදලක් ඉල්ලා ඉන් රු. ලක්ෂ 6 ක් අල්ලස් වශයෙන් ලබා ගත්තේ යැයි චෝදනා නගමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් 2015 වර්ෂයේදී කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණා.
යළි නඩු පැවරීම
එම නඩුව පැවරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරුන් තුන් දෙනාගේම අනුමැතිය ලබාදී නොමැති බවට ඉදිරිපත් වූ මූලික විරෝධතාවයක් නිසා එම කොමිසම ජයතිලක මන්ත්‍රීවරයාට එරෙහිව ගොනු කර තිබූ අධි චෝදනා ඉල්ලා අස්කර ගත්තා.
නැවතත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරුන් තිදෙනාගේ අත්සන සහිතව ජයතිලක මහතාට එරෙහිව එම කොමිසම යළිත් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළා.