April 26, 2024

ජනපති අවසන් තීන්දුව දන්වයි! රජයේ ප්‍රතිපත්තියට එකඟ නැති නිලධාරීන්ට රතු එළියක්

November 22, 2021

රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවත් මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින් ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ම පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, සහනාධාර ලබා දීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් සිදු කරන බව ජනාධිපතිවරයා සඳහන් කරනවා. 

ගොවීන් නිසි ලෙස දැනුවත් කළ යුතු බවත් එමෙන් ම එය ක්‍රියාත්මක කිරීමේදී පවතින රසායනික පොහොර මාෆියාව පිළිබඳ හඳුනා ගත යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඒ සමග සටන් වැද නිවැරදි දේ ජයග්‍රහණය කරවීමට නිලධාරීන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

මහ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

දිවයිනේ සියලු පළාත්වල වී ඇතුළු සෙසු භෝග වගා කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන්ගෙන් කරුණු විමසා බැලූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

පැවති අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය එළවළු ඇතුළු භෝග රැසක අස්වැන්න අඩු වීමට බලපා තිබෙනවා. එමෙන් ම කාබනික පොහොර බෙදාහැරීමේදී සිදු වූ ප්‍රමාදය නිසා මහ කන්නයේ වගා කටයුතුවලට බලපෑම් ඇති වී තිබෙනවා.

එහෙත් දිස්ත්‍රික් මට්ටමින් සමස්ත වගා බිම්වලින් 70%කට ආසන්න භූමි ප්‍රමාණයක වගා කටයුතු ආරම්භ කර ඇති බව එහිදී නිලධාරීන් පෙන්වා දුන්නා.

ගොවීන් උද්ඝෝෂණවල යෙදීමට සහ වගා කටයුතු ප්‍රමාද කිරීමට හේතුව ඔවුන් නිසි ලෙස දැනුවත් නොවීම බව ජනාධිපතිවරයා සඳහන් කළා. 

එලෙස දැනුවත් නො කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිලධාරීන් වෙත සිය අප්‍රසාදය පළ කළා.

හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළ සිටිමින් උද්ඝෝෂණය කරන ගොවීන් වෙනුවෙන් පිළිතුරු සෙවීමට නිලධාරීන් ක්‍රියා කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත් වීමට බාධාවක් නොමැති බවත් කියා සිටියා.

හිතට එකඟ ව, පැහැදිලිව වැඩ කරන කණ්ඩායමක සහාය මෙම වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 13:02

Related items