May 03, 2024

යළි කොවිඩ් පොකුරු - දැන් කොවිඩ් පැතිරෙන්නේ මෙහෙමයි

November 09, 2021

යළිත් කොවිඩ් අවදානම වැඩිවෙමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

යළි කොවිඩ් පොකුරු 

විශේෂයෙන් කොවිඩ් සීමා ඉවත් කිරීමත් සමඟම ජනතාව එක්රැස්වීම වැඩි වීමත්, එහිදී ජනතාව කොවිඩ් මාර්ගෝපදේශ නිවැරදිව පිළිනොපැදීමත් නිසා යළිත් කොවිඩ් අවදානම ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඒ අනුව දැනට වාර්තා වන සෑම එක් කොවිඩ් ආසාදිතයෙකුගෙන් ම කොවිඩ් පොකුරු ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය අවධාරණය කරනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසූවේ විසිරී ගිය තැන්වල රෝගීන් වාර්තා වන බවත් එක් තැනකින් විශාල ප්‍රමාණයක් නොව පොකුරු ඇතිවීමේ ඉඩ කඩක් තිබෙන බවත්ය.

හතරවෙනි රැල්ලක් 

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

"දැනටත් අපි කියනවනේ හතරවෙනි රැල්ලක් ඒවි කියලා අපි කියනවානේ. මං හිතන්නේ භාවිතයට ඇවිල්ලා තියෙනවා. අපිට ඉදිරියේ දී දැනගන්නට පුළුවන් වේවි හතරවෙනි රැල්ලක් වගේ ඉහළට යාවි ද කියලා. රෝගීන්ගේ තොරතුරු වසංගත රෝග විද්‍යාංශය මඟින් ඉදිරිපත් කිරීමේ දී ඔවුන් විසින් පවසන ලද්දේ මෙය විසිරී ගිය තැන්වල වාර්තා වන රෝගීන් බවට. එක් තැනකින් ගොඩාක් ප්‍රමාණයක් නෙමෙයි. අපි හිතුවොත් පොකුරු ඇතිවීමේ ඉඩ කඩක් තමයි තියෙන්නේ. මේ හැම එක් රෝගියෙකුගෙන් ම පොකුරක් ඇති විය හැකියි. අපි ඉතාමත් ම පරිස්සම් වියයුතුයි."

ගැබිණි මව්වරුන්ට තුන්වන මාත්‍රාවක්

මේ අතර ගර්භණී කාන්තාවන් සඳහා ද තුන්වන එන්නත් මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිවනු ඇති බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සංගමයේ ලේකම් චාමින්ද මහතොට මහතා ප්‍රකාශ කළා.

"ඒ කාලයේ මියගිය ගර්භණී මව්වරු කිසිම කෙනෙක් එන්නත්කරණයට ලක්ව සිටියේ නෑ. එන්නත ලබාගත්ත කිසිම ගර්භණී මවක් මියගිය බවට අපට වාර්තා වුණේ නැහැ. විශේෂයෙන් ම ගර්භණී කාන්තාවන් සඳහා තුන්වන මාත්‍රාවක් ලබාදෙන විදියට අපි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යරුන්ගේ විද්‍යාතනය විදියට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරා. මං හිතන්නේ ඒ ඉල්ලීම බෝවන රෝග පිළිබඳ උපදේශන කමිටුව මඟින් අනුමත කරලා තියෙනවා. ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයක් ලබාදේවි." යැයිද චාමින්ද මහතොට මහතා සඳහන් කළා.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 167 දෙනෙකු ඊයේ (08) දිනයේ හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පැවසුවා.

ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 679ක්.

කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 545,935ක්.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 November 2021 11:30