May 18, 2024

යළිත් දරුවන් අතර කොවිඩ් රැල්ලක් - වෛද්‍යවරුන් අනතුරු අඟවයි

November 06, 2021

කොවිඩ්  ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව යළි ඉහළ යන තත්වයක් පෙනෙන්නට ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවා.

බොහෝ පිරිස් සෞඛ්‍ය නීති නොතකමින් හිතුමතේ කටයුතු කිරීම නිසා මෙම තත්වය ඇතිවන්නට ඇතැයිද  හෙතෙම සඳහන් කළා.

කොවිඩ් ආසාදිත දරුවන් හත් දෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පසුගිය 4 වනදා ඇතුළත් කෙරුණු බව පැවසූ දීපාල් පෙරේරා මහතා රෝහලේ දැනට කොවිඩ් ආසාදිත දරුවන් 16 දෙනකු ප්‍රතිකාර ලබන බවද පැවැසුවා.

රෝහලේ ප්‍රතිකාර ලැබූ කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව පසුගිය සතිය වනවිට හතරක් දක්වා අඩුවී පැවතුණ බවද ඔහු පැවසුවා.

ජනතාව සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු නොකළහොත් කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව තවදුරටත් වැඩි විය හැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය නීති නිසි පරිදි අනුගමනය කිරීම වැදගත් බවද පෙන්වා දුන්නා.

විශේෂයෙන් දරුවන් රැගෙන විනෝද සවාරි ඇතුළු අනවශ්‍ය ගමන් බිමන්වල මේ මොහොතේදී  යෙදීමෙන් වළකින්නැයි තමා මවුපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවත් එසේ කටයුතු නොකළහොත් පාසල් විවෘත කිරීම පවා ගැටළු සහගත විය හැකි බවත් හෙතෙම සඳහන් කළා.

විශේෂයෙන්ම මත්පැන් සාද කොරෝනා පැතිරෙන ප්‍රධාන තෝතැන්නක් ලෙස හඳුනාගෙන ඇති බව පැවසූ දීපාල් පෙරේරා මහතා එවැනි ස්ථාන හැකිතාක් මගහැර කටයුතු කරන්නැයි මවුපියන්ගෙන්  විශේෂ ඉල්ලීමක් කළා.

මේ අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග කොවිඩ් ආසාදිත ළමුන් සංඛ්‍යාවේ ඉහළයාමක් පෙන්නුම් කරන බව විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ද පවසනවා.

පසුගිය දින කිහිපයේ දී කොවිඩ් ගැබිනි මව්වරුන්ගේ සංඛ්‍යාවේ ද ඉහළ යාමක් පෙන්නුම් කළ බව ඇය පැවසුවා.

"ගර්භනි මව්වරු එන්නත් කරලා දැනට සියයට 95කට වඩා වැඩි ආවරණයක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව අපි දකිනවා ගර්භනි මව්වරු වෛරසය වැළදීලා රෝහල්ගතවීමේ යම් අඩුවක්. ඒක හොඳ තත්ත්වයක්. නමුත් පසුගිය දවස් දෙක තුනක ඉඳලා නැවතත් ආසාදිතයින් වැඩිවීමකුත් අපි දැක්කා. ඒක මට හිතෙනවා අපි රිලැක්ස් කළා වැඩිද? එම නිසා රෝගය නැවත පැතිරීමක් වෙන්න පුළුවන්ද කියන එක. ඒ අතර පාසල් ආරම්භවීමත් සමඟම අපි දක්නවා පාසල් දරුවන් අතරත් වාර්තා වෙච්ච පොඩි වැඩිවීමක් දක්නට ලැබෙනවා පසුගිය සතිය ඇතුළත වගේ. ඒක මම හිතන්නේ ගොඩක්වෙලාවට අපේ දෙමාපියන් සංචරණ සීමා ඉවත්වෙලා තියෙනවා පළාත් අතර සංචරණය වැඩි වෙලා තියෙනවා. ඒකත් එක්ක මේ කුඩා දරුවන් අරගෙන තැන තැන යන එක යම් තරමක් සීමාකරන එක හොඳයි."

Rate this item
(3 votes)