May 18, 2024

යළි කොවිඩ් පොකුරු මතුවෙයි! එන්නත්වලට අභියෝග කරන අලුත් කොවිඩ් ප්‍රභේදයක්

ඊයේ (30) කොවිඩ් -19 ආසාදිතයින් 565 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 539,981 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඉන් ආසාදිතයින් 512,481 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 13,775 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියි.

පෙරේදා (29) දිනයේ කොවිඩ් මරණ 19ක් සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ දිනයේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,725 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළට

මේ අතර පසුගිය සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය ආර්.එම් රත්නායක මහතා සඳහන් කළේ, "අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කොවිඩ් රෝගීන් විශාල වශයෙන් හමුවන බව පසුගිය සතිය තුළ අපිට වාර්තා වුණා. දින 5කට අපිට රෝගීන් 650 ඉක්මවා වාර්තා වුණා. අනුරාධපුර දිස්ත්‍රිකකයේ ප්‍රාථමික විදුහල්වල සිසුන් සහ ගුරුවරුන් කිහිප දෙනෙක් රෝගයට ගොදුරු වෙලා තියෙනවා."

තවත් වෛද්‍යවරයෙක් මියයයි

කොවිඩ් ආසාදිතව මාස තුනක පමණ කාලයක් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රසාද් ද සිල්වා මහතා ඊයේ (29) මියගොස් තිබෙනවා.

දේහය පැය 2ක පමණ කාලයක් නිවසේ තැන්පත් කෙරුණු අතර දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව හිමිවූයේ පවුලේ සාමාජිකයින්ට පමණි.

ප්‍රභේදය ගැන අවධානයෙන්

ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසූවේ ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා ඇතුළු ප්‍රධාන වර්ගවල එන්නත් සියල්ලකින්ම ලැබෙන ආරක්ෂාව කැඩිය හැකි ඒ.30 නමැති කොවිඩ් වයිරස ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාවද අවධානයෙන් පසුවන බවයි.

මෙම වයිරස ප්‍රභේදය ගැන අද මුළු ලෝකයම අවධානයෙන් පසුවන බවද හෙතෙම සඳහන් කළා.

මෙම ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් ලොකු ගැටලුවකට මුහුණ දීමට සිදුවන බව පැවසූ අමාත්‍යවරයා සියල්ල අවසන් යැයි සිතා ජනතාව කටයුතු කළහොත් එහි අනිසි ප්‍රතිඵල තව සති හතරකින් පමණ දැකගත හැකිවනු ඇතැයිද පෙන්වා දුන්නා.

මේ අතර විවාහ උත්සව හා අවමංගල්‍ය උත්වලදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කළහොත් කොවිඩ් පැතිරීම වේගවත් විය හැකි බවද මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

“මේ ප්‍රභේදය ගැන අලුත් සොයා ගැනීමක් කරලා තියෙනවා. ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු ප්‍රධාන වර්ගවල එන්නත් සියල්ලකින්ම ඇතිකරන ආරක්ෂාව කඩන්න පුළුවන් කියලා මේ A30 කියන ප්‍රභේදයට. මේක ව්‍යාප්ත වුණොත් ලොකු අපහසුතාවයක වැටෙයි කියලා ලෝකයේම අවධානය යොමුවෙලා තියෙනවා. මේ ගැන අපිත් අවධානයෙන්. සියල්ල ඉවරයි කියලා ජනතාව කටයුතු කළොත් තවත් සති 4කින් විතර එහි අනිසි ප්‍රතිඵල අපිට විඳින්න වෙයි." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)