May 01, 2024

අනුර කියලා තියෙන්නෙත් බොරු! ඇමති රොෂාන් පාරට බහින්න සුදානම් වෙයි

කාබනික පොහොර තීන්දුව ජනාධිපතිවරයා අනාගත පරපුර ගැන මේ රටේ පුරවැසියාගේ ජයග්‍රහණය ගැන හිතලා ගත්ත තීන්දුවක්  යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

දිඹුලාගල අධ්‍යාපන කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව පවසා සිටියා.

එහිදී රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

“පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වුණ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ  තියෙනවා අනිවාර්යෙන්ම කාබනික වගාවට යනවා කියලා. එතුමාලා  එතකොට පහුගිය කාලේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියලා තියෙන්නේ බොරුවක්ද කියලා දැන් අපිට හිතෙනවා .

දැන් ගොවි ජනතාව කියනවා භාගයක් කාබනික පොහොරත් භාගයක් රසායනික පොහොරත්  දුන්නහම ඇති කියලා. ඒ කියන්නේ මේ රට ජාතියක් විදිහට ලැබු  ජයග්‍රහණයක්. ගොවි  ජනතාවටත් අවබෝධ වෙලා තියෙනවා රසායනික පොහොර භාවිතය සුදුසු නැහැ කියන එක.

පහුගිය කාලේ කාබනික පොහොර හදන්න රජය මුදල් දෙනකොට ඔය පක්ෂග්‍රාහීව කටයුතු කරන කඩාකප්පල්කාරීන් ඉතා සුළු පිරිසක් කුමන්ත්‍රණකාරීව මේ ගොවි ජනතාව අවුස්සමින් කටයුතු කරා .අපි දන්නවා ඒ අයත් රජයෙන් දුන්න රුපියල් 12,000 ක මුදල අරගෙන තියෙනවා. ඒ අය ඒ මුදල් අරගෙන පොහොර හැදුවද නැද්ද කියන ප්‍රශ්නය තියෙනවා.

කාබනික පොහොර ටිකට පොස්පරස් අපේම රටේ තියෙන නිසා එකතු කරන්න පුළුවන්කම තියෙනවා .අපි දැක්කා පොටැසියම් පොහොර නැවක් ගෙන්වනු ලැබුවා. නයිට්‍රජන්  පොහොර දියරයක් විදිහට ගේනවා .

මමත් ගොවි ජනතාව වෙනුවෙන් මහපොළොවේ  සටන් කරපු දේශපාලන නියෝජිතයෙක් විදිහට කියන්නේ අපි කන්නයක් දෙකක් කරල බලමු. කන්නයක් කරල බලමු අස්වැන්න කොහොමද කියලා. මේකේන පොටෑසියම් සහ නයිට‍්‍රජන්  දියර යොදලා. අපි දෙවැනි කන්නෙත් බලමු. යම් අසාර්ථකත්වයක් තිබුනොත් එතකොට මාත් ගොවියා එක්ක පාරට බහිනවා.”

වකුගඩු රෝගයෙන්, පිළිකා රෝගීයෙන්, අධි රුධිර පීඩනයෙන්, දියවැඩියාවෙන් රටේ ජනතාව බේරගන්න අවශ්‍ය බවත් නමුත් රසායනික පොහොර මඟින් එයට බලපෑමක් සිද්ධ වෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

රසායනික පොහොර  බලපෑම අඩු කිරීම හා එම පොහොරවලින් මිදෙන්න පුළුවන් නම් ඒක සුවිශේෂී කාරණයක් වෙන බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ “ඒ නිසාමයි අනුර කුමාර දිසානායකත් කාබනික පොහොර වගාවකට යායුතුයි කියලා කියන්න ඇත්තේ කියලා හිතනවා, බොරුවට හරි.” ලෙසිනි.

ගොවි ජනතාවගෙන් කන්න දෙකක් කරල ඊට පස්සේ තීන්දුවකට යමු යැයි අමාත්‍යවරයා විසින් ගොවී ජනතාවගෙන් ඉල්ලා සිටියා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ “මේ බංකොලොත් දේශපාලන කඳවුරෙන් අපි ඉල්ලන්නේ ගොවි ජනතාව නොමඟ යවන්න එපා කියලා. එන් පී කේ නයිට්‍රජන් පොටෑසියම් පොස්පරස් පොහොර ගොවි ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ අපි සංවිධානය කරලා හමාරයි කියන එක විශේෂයෙන් සිහිපත් කරනවා . අපිටත් තියෙනවා වගකීමක් අපේ ජාතිය බේරගන්න. ඒ නිසයි අපි කියන්නේ ජනාධිපතිතුමා ගත්ත ක්‍රියාමාර්ගයේ ප්‍රසංසනීයයි කියලා.” ලෙසිනි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 October 2021 14:16