April 20, 2024

සන්ධාන නෑ - ජවිපෙ තනි මතයක

December 27, 2021

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සන්ධාන ගත වීමට සූදානමක් පවතින බවට සමාජ මාධ්‍යයේ සහ සමාජයේ මතයක් ගොඩ නැගෙමින් පවතින බව වාර්තා වෙනවා.

සිය පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගත වීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසා සිටියා.

ඒ සඳහා පිළිතුරු ලබා දෙමින් ඊට පසු දිනම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිචාර දක්වා සිටියා.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කලේ

“තනි තනිව මොන තරම් පිළිතුරු සෙවුවත් මේ අර්බුධයෙන් රටට ගොඩ එන්න බෑ. තනි තනියෙන් පොරබැදීමෙන් පළක් නෑ. වැද්දගේ වීසි දැළට අහුවුණු වටු රැලේ තනි තනි වටුවා ඉගිලෙන්න මොන තරම් උත්සහ කරත් එම දැළෙන් ගැලවී යාමට ඔවුන්ට හැකියාව ලැබුණේ නෑ. හැබැයි අවසානයේ එතන හිටපු බෝධි සත්ත්ව වටුවාණන් කියනවා අපි මේ දඩයක්කාරයාගේ දැළෙන් නිදහස් වෙන්න ඕනෙ නම් අපි සාමූහිකව පොරබදන්න ඕනේ කියලා.  එහෙම තමයි අද අපිට තියෙන්නේ. තනි තනිව නෙවෙයි අපි සාමූහික ප්‍රයත්නයක යෙදෙමු. අපේ රටත් අපේ රටේ ජනතාවත් මීට වඩා සංවර්ධනයක් වුණු රටක අපේක්ෂාවන් පිරුණු රටක සහෝදරත්වයෙන් සමගියෙන් ජීවත් වීම සඳහා අවශ්‍ය වෙන ව්‍යාපාරයක් ගොඩ නගමු” 

මේ අතර තම පක්‍ෂයට ජනතා විමුක්ති පෙරමුණ සමඟ සන්ධානගතව කටයුතු කළ හැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශය එතුමාගේ පෞද්ගලික අදහසක් මිස පක්‍ෂයේ මතය නොවේ යැයි එම පක්‍ෂ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවා.

කෙසේ වෙතත් පසුගියදා විකාශය වූ සජීවී රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ජනතා විමුක්ති පෙරමුණෙහි මධ්‍යම කාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ කිසිදු පක්ෂයක “නැට්ට” වීමට ජනතා විමුක්ති පෙරමුණෙහි කිසිදු සූදානමක් නොමැති බව යි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ද ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වීමක් සම්බන්ධයෙන් ඉඟි පළ කළා.

ඔහු සඳහන් කරන්නේ මෙවැනි අවස්ථාවක රට කරවීමෙහි දායක විය හැකි සෑම පාර්ශවයක්ම එක් විය යුතු බව යි.

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා සිදු කළ කතාව සම්බන්ධව ද වීරක්කොඩි මහතා අදහස් පළ කළ අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ එය හොඳ ප්‍රවණතාවක් බවයි.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ කිසිදු දේශපාලන පක්ෂයක් සමග සාම්ප්‍රදායික සන්ධාන සෑදීමට කටයුතු කරන්නේ නැති බව ඊයේ (26) ගාල්ලේ පැවති ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

"මේ රටේ ආණ්ඩු කරපු සියලු දෙනා මේ විනාශයට වගකිව යුතුයි. හැබැයි ගම් මට්ටමේ සිටින ජනතාවට නායකයින්ට අපි ආරාධනා කරනවා නව පරිවර්තනයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වෙන්න කියලා. මේ තත්ත්වයට කඩිනම් වෙනසක අවශ්‍යතාවය තියෙනවා. සියලු දෙනාට එකතු වෙන්නයි කියලා අපි ආරාධනා කරනවා. සාම්ප්‍රදායික පක්ෂ එකතු කරලා සන්ධාන ගහන්න අප කටයුතු කරන්නේ නැහැ."

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 26 December 2021 22:03

Related items