April 25, 2024

මෛත්‍රීගේ හැසිරීම සැකයි - සුසිල්ගේ නෙරපීම ගැන අනුර කතා කරයි (VIDEO)

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හැසිරීම සැක සහිත බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු අද (05) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

රට තුළ විශාල අර්බුද ගණනාවක් මතුව ඇති බැවින් දේශපාලන ගමන් මඟ වෙනස් කළ යුතු බවද සඳහන් කළා.

සුසිල් ප්‍රේම්ජයන්ත මහතාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ද අනුර කුමාර මහතා අදහස් පළ කර සිටියා.

"අපේ රටේ විශාල අර්බුද ගණනාවක් ඇති වෙලා තියෙනවා. මේ ආපු දේශපාලන ගමන් මඟ වෙනස් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි වැඩපිළිවෙලක් වගේම ජාතික ජන බලවේගය ගොඩනගලා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි දරණ ප්‍රයත්නයත් මේ රටේ ඇති වෙලා තියෙන කරුණු පිළිබඳවත් මහනායක හිමිවරු සමග සාකච්ඡා කිරීමේ අරමුණින් තමා අපි අද උන්වහන්සේලා බැහැදැකීමට ආවේ."

රජය සඳහන් කරන සෑම අර්බුදයකටම හේතුව ඔවුන් මුහුණ දුන්න කොරෝනා වසංගතය කියලා.  ඒ ගැන ඔබතුමා මොකද කියන්නේ යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා,

"මේ ණය හිරවීම කොරෝනාවල ප්‍රතිඵලයක් නොවේ. මෙතෙක් කල් අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තේ ප්‍රතිඵලයක්. ඒ නිසා ආණ්ඩුව හැමවෙලාවේදීම තමන්ගේ නොහැකියාව, තමන්ගේ ආර්ථිකයේ අසමත්කම, ආර්ථිකය ගෙනියන්න තියෙන ක්‍රියාමාර්ගයේ තිබෙන වැරදි බව දෙකම වසා ගන්න එක එක සළුපිළි හොයාගන්නවා. එහෙම එකක් තමයි කොරෝනාවල මේ අර්බුදය මුවා කරන්න හදන්න උත්සහයේ තිබෙන්නේ."

මුදල් අර්බුදයක් තියෙනවා නම් මුදල් අමාත්‍යතුමා විශේෂයෙන් රු බිලියන 290ක ජනතා සහන දෙන්න මේ රටට වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කරා නේද යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා,

"ඔබ දන්නවා පසුගිය දෙසැම්බර් මාසයේ තමයි 10 වෙනිදා තමයි අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ දී සම්මත කළේ. එතකොට මේ මුදල් වර්ෂය සඳහා මුදල් සම්පාදනය කර ගන්නා ආකාරය, වියදම් කරන ආකාරය 10 වෙනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරලා අනුමැතිය ගත්තා. ඒ වෙලාවේ මුදල් අමාත්‍යවරයා කිව්වා, අපි මරණ තුනක ඉන්නවා කියලා. අර්බුදයක ඉන්නේ කියලා. එවැනි තත්ත්වයක් තිබිය දී දැන් යම් සහන මල්ලක් ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. අපි දැනගන්න කැමතියි මුදල් අමාත්‍යවරයාගෙන් මෙම පඩි වැඩි වීමටත් අනෙකුත් සහන ලබාදීම සඳහාත් මුදල් හොයා ගන්නේ, කොහොම ද? මොකද පාර්ලිමේන්තුවට ඒක දැනගැනීමට අයිතියක් තියෙනවා. සහන ලබාදීම පිළිබඳ නෙමෙයි ගැටලුව තියෙන්නේ එම සහන ලබාදීමට මුදල් හොයාගන්නේ කොහොමද කියලා රටට ඉදිරිපත් කරන්න ඕනේ. නැවත නැවත මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවලියට නම් යන්නේ, අපේ රටේ අර්බුද ගණනාවක් නිර්මාණය කරනවා. ඒ නිසා මේ ආදායම් උපයා ගන්නේ කොහොම ද යන කරුණ මත මේක සහන මල්ලක් ද විපත්ති මල්ලක් ද කියලා තීරණය වෙන්නේ."

මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ප්‍රහාරයක් එල්ල කරා ආණ්ඩුවට. මේ තත්ත්වය ඔබතුමා කොහොම ද දකින්නේ යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා,

"ඔහුට දැන් නැති වෙන්න ගොඩක් දේවල් නෑනේ. ඔහුට තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම විතරයි."

ජනතාවට මොකද්ද කියන්න තියෙන්නේ යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා,

"ජනතාවට කියන්න තියෙන්නේ දීර්ඝ කාලයක් අනුගමනය කරන ලද දේශපාලන, ආර්ථික ප්‍රතිපත්තිය අපේ රට විශාල විනාශයකට ගෙනල්ලා තියෙනවා. තවදුරටත් මේ කඳවුරු දෙක මොන වේෂයකින් නායකත්වයකින් ආවත් අපේ රට අඟලක්වත් ඉදිරියට ගෙනියන්න බෑ. ඒ නිසා අපි ජනතාවට ආරාධනා කරන්නේ මේ විනාශකාරී දේශපාලන ආර්ථික ගමන වෙනස් කිරීම සඳහා එකතු වෙන්න. ඒ සඳහා නායකත්වය දෙන්න, ඒ සඳහා ජනතාව සංවිධානය කරන්න ජනතාව වෙනුවෙන් මේ රට ගොඩනගන්න අපි සුදානම්. ඒ වෙනුවෙන් එකතු වෙන්න." 

ඔබතුමන්ලා සමග එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් ආකාරයක කොළ එළියක් දල්වා තියෙනවා. සජිත් ප්‍රේමදාස පාර්ශවයේ පිරිසක් කැමැත්ත පළ කරලා තියෙනවා නේද යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා,

"අපි ආණ්ඩුවක් හදන්නේ මොකට ද? අපි ආණ්ඩුවක් හදන්නේ රට ගොඩනඟන්න. පැරණි පාරේ ඒ විනාශකාරී පාරේ යන්න නම් අපි ආණ්ඩුවක් හදන එක ඵලක් නෑ. මේ තියෙන එකක් තියාගන්න එක හොඳයි. එවැනි පරිවර්තනයක් කරනවා නම් ඒ සඳහා අවංකභාවය තියෙන, කැපකිරීම තිබෙන, උවමනාව තිබෙන කණ්ඩායමක් එක්ක තමා මේ පරිවර්තනය කළ යුතු වන්නේ. ප්‍රධාන වශයෙන් අපි ඒ පක්ෂ සමග එකතාවයකට යෑමට අපි කල්පනා කරන්නේ නෑ. අපි හිතනවා ජනතා විමුක්ති පෙරමුණේ, ජාතික ජන බලවේගය විතරක් නෙමෙයි අනෙක් පක්ෂවලත් අවංකභාවය තිබෙන, කැපකිරීම තිබෙන, මේ රට ගොඩනැගීමට යම් අරමුණක් තියෙන කණ්ඩායම් ඉන්නවා. ඒ පුද්ගලයින් ඒ කණ්ඩායම් එක්ක අපි එකඟතාවයකින් වැඩකටයුතු කරන්න සුදානම්. මොකද අපි ඔක්කෝටම තියෙන්නේ රට ගොඩනැගීමේ අරමුණ නම් ඒ වෙනුවෙන් එකතු කරගත හැකි කණ්ඩායම් එක්ක එකතුවීමට සුදානම්. නමුත් පක්ෂ ලෙස එකතුවීම ඵලක් නැහැ කියන එක අපේ ස්ථාවරය."

මේ බලය බිඳ හෙලන්න ඔබතුමන්ලා කටයුතු කරනවා ද යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා,

"ඔව් අපේ රටේ ජනතාව සුදානම් නම්, අවුරුදු 5කට ජනතාව ළඟ තියෙන බලය තාවකාලිකව මේ පාලනයට භාරදීලා තියෙනවා. ඒ අවුරුදු 5ට පෙර ජනතාව පීඩාවට පත්කරනවා නම්, ජනතා අයිතිවාසිකම් කප්පාදු කරනවා නම්, ජනතාව මර්දනය කරනවා නම්, රටේ ජාතික සම්පත් විකුණනවා නම්, මේ රටේ දරුවන්ට ආදරය කරන ජනතාවට සාධාරණ අයිතියක් තියෙනවා ඊට පෙර ඒ පාලනය පළවා හරින්න."  

(මහනුවර - කමල් සුරවීර)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 January 2022 16:04